ජෝන් සීනා අද සිය වෘත්තීය මල්ලවපොර ජීවිතයෙන් සමුගත්තේය. ඒ ලෝකයේ මල්ලවපොර ක්‍රීඩාවට ප්‍රිය කරන ප්‍රිය නොකරන ලක්ෂ සංඛ්‍යාත පිරිසකගේ හදවත් තුළ පුරාවෘත්තයක සමුගැනීම පිළිබඳ වූ ගැඹුරු සටහනක් තබමිනි.
ජෝන් සීනා යනු වෘත්තීය මල්ලවපොර ක්‍රීඩකයෙකු පමණක් නොවේ. ඔහු ගෝලීය නිරූපකයෙකි. ස්වකීය විෂය සම්බන්ධ ශාස්ත්‍රීය අධ්‍යයනයක් සහිත වූ විද්වතෙකි. ඔහුගේ ජීවිත කතාව පරම්පරා ගණනාවක් පුරා මිලියන ගණනකට ආශ්වාදයක් ලබා දෙනු ඇති බව සහතිකය. ඔහු වෘත්තීය මල්ලවපොර ක්‍රීඩාවෙන් විශ්‍රාම ගන්නා විට මල්ලවපොර ක්‍රීඩාව ප්‍රාසාංගික අත්දැකීමක් සහිතව ඉදිරිපත් කරමින් ලොව පුරා රසිකයන් සමූහනය කළ ආයතනය වූ World Wrestling Entertainment (WWE) හි ස්වරූපය වෙනස් කළ මිනිසා බවට පත් වී සිටියේය. සාර්ථකත්වය ලැබෙන්නේ වෙහෙස මහන්සි වී වැඩ කිරීමෙන්, ස්වයං විනයකින් චර්යාවන් කළමනාකරණය කිරීමෙන් සහ තමා කෙරෙහි ඇති විශ්වාසයකින් කටයුතු කිරීමෙන් බව ඔප්පු කළ මිනිසෙකු ලෙස ජෝන් සීනා රෙස්ලින් වළල්ලෙන් බැස යනු ලෝකයම බලාගෙන සිටියේය.

ජෝන් ෆීලික්ස් ඇන්තනි සීනා ජූනියර් 1977 අප්‍රේල් 23 වන දින එක්සත් ජනපදයේ මැසචුසෙට්ස් හි වෙස්ට් නිව්බරි හි උපත ලැබීය. ජීවිත වටිනාකම් වලින් පිරුණු නිවසක සහෝදරයන් හතර දෙනෙකු සිටින විශාල පවුලක ඔහු හැදී වැඩුණි. කුඩා කල සිටම, සීනා ක්‍රීඩා සහ ශාරීරික යෝග්‍යතාවය විෂය අධ්‍යයනයට ඇදී ගියේය. ඔහු පාසල් සහ උසස් විද්‍යාල අධ්‍යාපන කාලය තුළ පාපන්දු ක්‍රීඩා කළේය. උසස් අධ්‍යාපනයේ දී ඔහුගේ අධ්‍යයන විෂය වූයේ ව්‍යායාම කායික විද්‍යාවය. එම විෂය පිළිබඳ සීනා උපාධියක් ලබා ගත්තේය. මෙම අධ්‍යාපන පසුබිම ඔහුගේ වෘත්තීය ජීවිතය පසුව අර්ථවත් කරවූයේය. ශක්තියෙන් අනූන බලවත් ශරීරය සහ මලල ක්‍රීඩා විනය ඔහුගේ වෘත්තීය ජීවිතයේ විශිෂ්ඨත්වය සඳහා අඩිතාලම දැමීය.
උසස් අධ්‍යාපනය නිම කිරීමෙන් අනතුරුව සීනා වෘත්තීය මල්ලවපොර ක්‍රීඩකයෙකු වීමේ ඔහුගේ සිහිනය හඹා යාමට කැලිෆෝනියාවට ගියේය. එහෙත් එය පහසුවෙන් අත්කරගත හැකි ඉලක්කයක් නොවුනි. සිය ඉලක්කය හා ගැටෙමින් සීනා ගෙවූ මුල් වසර බෙහෙවින් දුෂ්කර විය. එහෙත් අභියෝගය හමුවේ ඔහු දැඩි ලෙස පුහුණු විය. අවිනිශ්චිතතාවයට මුහුණ දෙමින් සරල ඉතා නිහතමානී තරුණයෙක් ලෙස ජීවිතය දරා ගත්තේය. මොන අභියෝගය පැමිණියත් අත් නොහැරීමේ ගුණය ඔහු ප්‍රගුණ කළේය. ඔහු වෘත්තීය මල්ලවපොර ක්‍රීඩාවට පිවිසෙන්නේ 2000 වසරේදී ය. සීනා ඉක්මනින්ම World Wrestling Entertainment (WWE) ආයතනයේ අවධානය දිනා ගත්තේය.
ජෝන් සීනා 2002 දී World Wrestling Entertainment ආයතනයේ ප්‍රධාන ලැයිස්තුවට පිවිසියේය. ඔහුගේ විශ්වාසය, ශාරීරික බලය සහ ප්‍රේක්ෂකයින් සමඟ සම්බන්ධ වීමේ හැකියාව සමස්ථය අතරින් ඉක්මනින් ඔහුව වෙන් කර විශේෂ චරිතයක් බවට පත් කළේය. “කවදාවත් අත් නොහරින්න”… එය සීනාගේ අනන්‍යතාවයේ කේන්ද්‍රීය පණිවිඩ විය. දරුවන් සීනාව අගය කළේය. ඔහු බොහෝ පවුල් ඒකකවල ආදර්ශය වූයේය. ඔහු ඉක්මනින්ම World Wrestling Entertainment ආයතනයේ ආදර්ශය බවට පත් වූයේය.
දශක දෙකකට වැඩි කාලයක් පුරා ගෙවූ වෘත්තීය ජීවිතය තුළ, සීනා අසාමාන්‍ය සාර්ථකත්වයක් අත්කර ගත්තේය. ඔහු ලෝක ශූරතා 17 ක් දිනා ගත් අතර, World Wrestling Entertainment ආයතන ඉතිහාසයේ ඉහළම සංඛ්‍යාව ශූරතා සංඛ්‍යාව සම කළේය. කුමන ගැටලු මතු වුව ද , සීනා වෘත්තීයමය වශයෙන්, World Wrestling Entertainment ආයතනය ට පක්ෂපාතීව සහ සෑම තරඟයකදීම ඔහුගේ උපරිමය ලබා දීමට කැපවී සිටියේය.
රෙස්ලින් වළල්ලෙන් පිට –
මල්ලවපොර වළල්ලෙන් පිටතදී, ජෝන් සීනාගේ අතිශය සංවේදී සහ කම්පනයෙන් අනූන මනුෂ්‍යයෙක් වූයේය. මනුෂ්‍යත්වයේ නාමයෙන්, දරුවන් ගේ බරපතල රෝගාබාධ සඳහා අරමුදල් සපයමින් ජීවිත බලාපොරොත්තු උපදවන ගෝලීය පුණ්යායතනයක්වන Make-A-Wish Foundation වෙත සීනා දැක්වූ සහයෝගය සංවේදී සෑම මනුෂ්‍යයෙකුගේම හදවත් පුරවාලූයේය. ඔහු සමාජයේ මහා ගෞරවයට පාත්‍ර විනි. බරපතල රෝගාබාධවලට මුහුණ දෙන දරුවන්ට ප්‍රීතිය සහ බලාපොරොත්තුව ගෙන ඒම සඳහා වැඩිම ප්‍රාර්ථනා ඉටු කළ පුද්ගලයින් අතර සීනා ඉදිරියෙන් සිටියේය. රෙස්ලින් වළල්ල තුළ අනුකම්පා විරහිත අයෝමය මිනිසෙක් තුළ සැඟවී සිටි හෘද සංවේදී ආදරණීය මිනිසා ලෙස ලෝකය බලා සිටියේ අප්‍රමාණ ගෞරවයෙනි.
ජෝන් සීනා නැමති නළුවා –
පසුකාලීනව, සීනා තම වෘත්තීය ජීවිතය හොලිවුඩයට සාර්ථකව ව්‍යාප්ත කළේය. ඔහු ජනප්‍රිය චිත්‍රපට සහ රූපවාහිනී කතා මාලා වල පෙනී සිටියේය. මේ මල්ලවපොර ක්‍රීඩකයා තුළ සැඟවී සිටි කලාකරුවා සහෘද ආදරය දිනා ගත්තා පමණක් නොව ඇගැයීමට ද ලක් විය. සිය රංගන ජීවිතය සමෘද්ධිමත් වූ විට පවා, සීනා සෑම විටම වෘත්තීය මල්ලවපොර ක්‍රීඩාව අත් නොහැරියේය. ඔහුගේ උරුමය ගොඩනැගීමට උපකාර කළ රසිකයන් ට අසීමිත ලෙස ගරු කළේය.
ජෝන් සීනා අසිරිමත් මනුෂ්‍ය ආදර්ශයක් වන්නේ මේ සංකීර්ණ මානුෂීය සංකලනයන් නිසාය. ඔහු නියෝජනය කළ වටිනාකම් සඳහා ද ඔහු ආදරණීය පුද්ගලයෙක් විය. සීනා සිය ගෞරවය, නොපසුබට උත්සාහය සහ වගකීම වෙනුවෙන් පෙනී සිටියේය. ඔහු සමාජයට ලබා දුන් පණිවිඩය මිනිසුන්ට ධෛර්යයෙන් අභියෝගවලට මුහුණ දීමට සහ තමන්ගේ සිහින කිසි විටෙකත් අත් නොහැරීමට දිරිගැන්වීය.
අද ජෝන් සීනා වෘත්තීය මල්ලවපොරයෙන් ඉවත් වූයේය. ඒ මහා උරුමයක හිමිකරුවෙක් ලෙසය. ශාස්ත්‍රීය අධ්‍යයනයක් සහිතව සිය වෘත්තීය ප්‍රවේශය ලබා ගත් විද්වතෙක් විය. සිය ක්ෂේත්රය දික් විජය කළ ශූරයෙකු විය. විනෝදාස්වාදකයෙකු විය. සැබෑ ශක්තිය ලැබෙන්නේ කැපවීම, නිහතමානිකම සහ හදවතේ ගැඹුරුම තැනින් උපදින මනුෂ්‍යත්වයේ සංවේදනයන්ගෙන් බව ඔහු ලෝකයට පෙන්වා දුනේය. ඒ ආදර්ශය මිලියන ගණනක් වෙත ලබා දුන් මනුෂයෙක් ලෙස ජෝන් සීනා සිය මුද්‍රාව තබා රෙස්ලින් වළල්ලෙන් බැස යන්නේය. ඒ මුද්‍රාව වෘත්තීය මල්ලවපොර ක්‍රීඩාව පවතිනතෙක් නොමැකී තිබෙනු ඇත.








