කුරුණැගල අග්‍රමාත්‍ය සම්බන්ධීකරණ කාර්යාලය වෙත පා ගමනින් ගමන් කළ තරුණ විරෝධතා කරුවන් පිරිසක් යන්තම්පලාව හන්දියේ පොලිස් මාර්ග බාධක දමා නැවැත්වූ අවස්ථාවේ ප්‍රකට වුණු අතිශය සංවේදී සද්ධියක් මේ ජන අරගලයේ සැබෑ මනුෂ්‍යත්වයේ යථාර්ථය අද ප්‍රකට කළේය.
යකඩ පලන්චි දමා මාර්ග බාධක එලූ පොලිසිය යන්තම්පලාව හන්දියෙන් දිරියට එන තරුණ උද්ඝෝෂකයන් අභිමුව රැඳී සිටියේය. තරුණ පිරිස පොලිස් මාර්ග බාධකය ඉදිරියේ නතර වූහ.
තරුණයෝ ප්‍රශ්න කළහ. “අපි මෙතන කලබලයක් කළොත් ඇත්තටම හිතට එකඟව ඔයාටල ගහනන් පුලුවන් ද?. සර් මේ ඉන්නෙ සර්ලගෙ දරුවො වගේ දරුවො ටිකක්.“
තව තරුණයෙක් ප්‍රශ්න කළේය. “සර්… හැට නව ලක්ෂයෙ තමයි අපිත්. අද දැක්කද පාර්ලිමේන්තුවෙ වෙච්චි දේ. මුංව රැකලා මොකටද?. “තව තරුණයෙක් ඇසුවේය. සංවාදය දිගටම ඇදී ගියේය.
එතැන සිටි පොලිස් ප්‍රධානියා අනතුරු ඇඟවූයේය.
මෙතනින් යන්න ගියොත් අවම බලය පාවිච්චි කරන්න සිද්ධ වෙනවා.
තරුණයෝ පොලිස් නිලධාරීන් ඇමතූහ.
“ සර්ට අපි අවුරදු පනහක් හැටක් ජීවත් වෙන්නෙ. අවුරුදු හාරසීයක් ජීවත්වෙන්නෙ නෑ. මේ මිනිස්සු ඇයි අපට මෙහෙම කරන්නෙ. අපිවත් විකුණගෙන කයි.“
තරුණයෙක් අත් දෙක එකතු කර වැන්දේය.
“වැඳලා ඉල්ලන්නෙ. අපිත් එක්ක මේ වෙලාවෙ එකතු වෙන්න සර්. ඔයාලා විතරයි අපිත් එක්ක එකතු වෙන්න ඕන. මේ ඇවිත් තියෙන්නෙ ඇවිලෙ බඩගින්නෙ… “
පොලිස් නිලධාරියාගේ ඇස්වලින් කඳුළු බේරුණේය. තරුණ උද්ඝෝෂකයෙක් ඔහුව වැළඳ ගත්තේය.
“සර් නියම තාත්තා කෙනෙක්…“ තව තරුණයෙක් කෑ ගසා මෙසේ කීවේය…
“ සර්. අපේ තාත්තලා කෝටිපතියො නෙමෙයි. කුලී වැඩ කරලා අපට කන්න දෙන්නෙ. ඒ මනුස්සයො රෑට අඬනවා සර්.. අපි කොහොමද මේවා දරාග ගන්නෙ…“
“ තව තරුණයෙක් හැඬුම් ස්වරයෙන් කෑ ගැසුවේය. “ සර්… අපේ තාත්තා තිස් පන්දාහෙ පඩියෙන් අපි හතර දෙනෙක් හදන්නෙ. මාව කැම්පස් යවන්නෙ. පරිප්පු කිලෝ එකක් රුපියල් පන්සීයක් උනාම කොහොමද සර් අපට කන්න දෙන්නෙ.“
මාර්ග බාධකයෙන් මෙහා පැත්තේ සිටින තරුණ අරගල කරුවන්ගේ මෙන්ම පාලකයන් රකින්නට බැරියර් දමා එහා පැත්තේ ඉන්න පොලිස් නිලධාරීන්ගේ රතු වූ දෙනෙත්වලින් කඩා හැලෙන කඳුළුය.
මේ අරගලය මේ පොළොවේ නියම තැන පිහිටන්නේ දැන්ය.
පාර්ලිමේන්තුවේ මේ මොහොතේත් පිස්සු කෙළින කාලකණ්ණි හිපාටුවන්ට මොළය කළඳක් ඇතිනම් මෙය තේරුම් ගත යුතුය.
මේ කඳුළු හරිම බරය.







