සුනේත්‍රා ඇතුගල්පුර –
කලෙක මේ රට තුළ සිටි ප්‍රභාමත් පුවත්පත් කලාවේදියෙක් වූ සමන් කළුආරච්චි තවත් කෘතියක් එළි දක්වා තිබේ. ඒ “අසමසම ජිවිතයක්” ලෙසිනි. කෘතිය සූරිය ප්රකාශනයකි. මිල රුපියල් 1445කි.
අසමසම ජීවිතයක් නවකතාවක් නොවේ. එහෙත් නව කතාවක් ලෙස කියවා ගෙන යා හැකි අතිශය රසවත් දැනුම සංචිතයකි. විවිධ ක්ෂේත්‍ර ඔස්සේ විසිරී යන සාහිත කලා දැනුම් සම්භාරයක් තුළ පාඨකයා රඳවා තබන්නේ ඔහුගේ දෘෂ්ඨි විෂය මහා ගැඹුරකින් පුළුල් කරමිනි.
සිය මව්රටින් පිටමන් වී මේ වනවිට සමන් කළුආරච්චි සිය ජීවිතය ගෙවන්නේ කැනඩාවේ වැන්කුවර් නගරයේය. පසුගිය දශක දෙකක කාලයක් තුළ විටින් විට විදේශ රටවලට සංක්‍රමණය වූ ජනමාධ්‍යවේදීන් ගෙන් තවමත් ලේඛනයේ නියැලෙන පිරිස් වෙති. මේ පිරිස කොටස් දෙකකට වෙන් කළ හැකිය .
එක් කොටසක් වන්නේ තමන්ගේ ආත්ම මමංකාරය හිසෙහි තබාගෙන ස්වකීය තෘප්ත නොවූ අභිලාෂයන් පිළිබඳව අඳෝනා නගන ලියන්නන්ය. අනෙක් පිරිස විදේශීය රටක ජීවත් වීම තුළින් ලබන නව දේශපාලන, සංස්කෘතික ලක්ෂණයන්ගෙන් තම ලේඛනය පොහොසත් කරගන්නන්ය. රට තුළ දී ලඟා විය නොහැකි දැනුම් සම්භාරයක් වෙත ප්‍රවේශය ලබමින් සිය නිර්මාණකරණය ඔප් මට්ටම් කරගන්නන්ය. මට හිතෙන හැටියට සමන් කළුආරච්චි අයත් වන්නේ මේ දෙවැනි කොටසටය.
ඔහු විසින් ලියන ලද අසම සම ජීවිතයක් කෘතිය කියවනවිට එය මනාව තහවුරු වේ. කාලය යනු මුදල් නොවේ. කාලය යනු ජීවිතය සහ දැනුමය. මතු යම් දිනයක දී ඔබ බොහෝ දෙනෙකුට කාලය යනු දුහු මතක මාත්‍රයකි. ඒ මතකය ආදරණිය මතකයක් බවට පත් කරගැනීම අර්ථ පූර්ණව ජිවත් විමය.
අර්ථවත් ජීවත් වීමකට නිශ්චිත අර්තකථනයක් නැත. එහෙත් එය තේරුම් ගත හැකි ප්‍රවේශ තිබේ. අසම සම ජීවිතයක් වැනි කෘති එවැනි ප්‍රවේශ සාදයි.
සමන් සිය කෘතිය සම්බන්ධව මෙවැනි සටහනක් තබයි.
ඔබේ ජීවිතයේ වටිනාම දින දෙකක් පවතී. පළමුවැන්න ඔබ ඉපදුනු දිනයයි. දෙවැන්න නම් ඉපදුනේ ඇයි ද යන්න ඔබ වටහා ගත් දිනයයි” (The two most important days in your life are the day you are born and the day you find out why”) ලෝක ප්‍රකට ඇමරිකානු ලේඛක මාට්වේන් කීවේය.
ජීවත් වන්නට අපට ඇති ප්‍රධානතම පෙළඹීම විය යුත්තේ ජීවිතය විසින් අපෙන් බලාපොරොත්තු වනු ලබන අරමුණ සොයා යාමය. ඒ අරමුණ සොයා ගැනීමේ පූර්ණ නිදහස ඇත්තේ අප සතුවය. එබැවින් අපේ ජීවිතවල තේරුම කුමක්දැයි ප්‍රශ්න කිරීමෙන් පලක් නැත. ඒ වෙනුවට දවසින් දවස, හෝරාවෙන් හෝරාවට සිහිපත් කළ යුත්තේ ජීවිතය විසින් ඒ ප්‍රශ්න කිරීම අපෙන් කරනු ලබන බවය.
මතු යම් දිනයක දී බොහෝ දෙනෙකුට ඔබ මතකයක් පමණක්ම වනු ඇත්තේය. ඒ මතකය ආදරණීය මතකයක් බවට පත් කරගන්නට උත්සාහ ගන්න. එවන් ආදරණීය මතකයක් ඉතිරි කළ හැකි වන්නේ යහපත් මිනිසෙකු ඔබ තුළින් නිර්මාණය කර ගැනීමෙනි.







