“ඔන්මැක්ස් ඩී.ටී.” නමැති පිරමීඩාකාර නීතිවිරෝධී පෞද්ගලික මුල්‍ය ආයතනයේ මුදල් තැන්පත් කළ සියලූම ගනුදෙනුකරුවන්ට වසර දෙකක් ඇතුළත එම මුදල් යළි ලබා දිය හැකි බව එම ආයතනයේ විත්තිකාර අධ්‍යක්ෂකවරුන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඉදිරියේ සිය නීතිඥවරයා මගින් කරුණු දක්වමින් අද පැවසීය.
අදාළ පැමිණිල්ල අද කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී එහි අධ්යක්ෂවරුන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න අධිකරණය වෙත මෙම දැනුම්දීම සිදුකළේය.
අධිකරණය හමුවේ කරුණු දක්වමින් ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න වැඩිදුරටත් ප්‍රාකශ කළේ සිය සේවාදායකයාගේ සමාගමේ මුදල් තැන්පත් කළ තැන්පත්කරුවන් 61,000කට මුදල් ගෙවීමට නියමිතව තිබෙන බවය. ජනාධිපති නීතිඥවරයා පැවසුවේ එසේ ගෙවන්නට ඇති මුදල ඩොලර් මිලියන 18කට ආසන්න බවය.
ජනාධිපති නීතිඥවරයා යළිත් පෙන්වා දුන්නේ සමාගමට අදාළ බැංකු ගිණුම් මේ වනවිට අධිකරණය විසින් තහනමට ලක් කර තිබෙන බැවින් එම තහනම ඉවත් කරන්නේ නම් වසර දෙකක් තුළ අදාළ මුදල් තැන්පත්කරුවන්ට නැවත ගෙවා අවසන් කිරීමට හැකි වනු ඇති බවය.
මෙහිදී මුදල් අහිමි වූ තැන්පත්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නාමල් රාජපක්ෂ මහතා අධිකරණයේදී කරුණු දක්වමින්, විත්තිකරුවන් විසින් තම සේවා දායකයින්ට රුපියල් කෝටි 25ක පමණ මුදලක් නැවත ගෙවීමට නියමිතව තිබෙන බව සඳහන් කළේය.
මෙහිදී මහෙස්ත්‍රාත්වරයා තැන්පත්කරුවන්ට නියෝග කළේ තමන්ට ගෙවීමට තිබෙන මුදල් පිළිබඳ සියලු විස්තර විත්ති පාර්ශ්වය වෙත ලබාදීමට පියවර ගන්නා ලෙසත් ඉන් අනතුරුව විමර්ශන සිදු කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සමග සාකච්ඡා කර අදාළ මුදල් නැවත ගෙවීමේ වැඩපිළිවෙළක් සකස්කර අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත්ය.
ඉන් අනතුරුව අදාළ බැංකු ගිණුම් තහනම් ඉවත් කිරීම සම්බන්ධයෙන් අධිකරණය කරුණු සලකා බලන බව මහෙස්ත්‍රත්වරයා විත්ති පාර්ශ්වයට දැනුම් දුන්නේය.
අදාළ පැමිණිල්ල ජුලි මස 09 වනදා යළි කැඳවීමට නියෝග කළ අධිකරණය එදින මෙම කටයුතුවල ප්‍රගතිය දැනුම්දෙන ලෙස පාර්ශ්වකරුවන්ට දන්වා සිටියේය.
එම නඩුවේ සැකකරුවන් ලෙස අදාළ සමාගමේ අධ්යක්ෂවරුන් පස් දෙනෙකු අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර ඔවුන් මේ වනවිට ඇප මත මුදාහැර ඇත.







