ලලිත් චාමින්ද –
ජාතික දේශගුණ විපර්යාස සඳහා වු දත්ත හුවමාරු ජාලකරණ පද්ධතිය ස්ථාපිත කිරිමට සහ උපකරණ මිලදි ගැනිම සදහා රුපියල් හාරකෝටි හැටතුන්ලක්ෂ, හැත්තෑ එක් දහස් පන්සියයක (46,371,500) මුදලක් වැයකර තිබුණද එම පද්ධතිය මගින් බලාපොරොත්තු වු අරමුණු ඉටු කරගතහැකි පරිදි ක්‍රියාත්මක තත්ත්වයේ නොමැති බව නිරීක්ෂණය වන බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සදහන් වේ.
මේ පිළිබද පසුගිය විගණන වාර්තා මගින් ද පෙන්වා දි තිබු අතර 2021 වර්ෂයේ නොවැම්බර් මස 19 වැනිදින පැවති රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ දි මෙම ව්‍යාපෘතියේ ප්‍රගතිය සතුටුදායක මට්ටමක නොපවතින බව සඳහන් කර තිබුණි.
අදාළ අංශ සමග මනා සම්බන්ධීකරණයක් ඇතිකරගනිමින් දත්ත පද්ධතිය යාවත්කාලීන කිරිමේ ක්‍රමවේදයක් සකස් කළ යුතු බව හා මෙම පද්ධතිය දිගින් දිගටම පසුවිපරම් කිරිමේ අවශ්‍යතාවයද අවධාරණය කරතිබුණි.
මෙකි දත්ත පද්ධතිය ස්ථාපිත කිරීම සඳහා තෝරාගත් සමාගම සමග එළඹි ගිවිසුමේ කොන්දේසි අනුව අපේක්ෂිත අරමුණු ඉටුකරගැනිමට කටයුතු කළයුතු බවට විගණනය මගින් නිර්දේශකොට ඇත.
මෙම ව්‍යාපෘතිය සම්බන්දයෙන් රජයේ ගිණුම් කාරක සභාවේ නිර්දේශ පරිදි කටයුතු කළයුතු බවට ද විගණනය මගින් නිර්දේශකොට තිබේ.
මේ සම්බන්දයෙන් පරිසර අමාත්‍යංශයේ ප්‍රධාන ගණන්දිමේ නිලධාරිවරයා විගණනයට සඳහන් කොට ඇත්තේ පරිසර අමාත්‍යංශය විසින් වෙබ් පාදක ජාතික දේශගුණික විපර්යාස දත්ත හුවමාරු ජාලය සංවර්ධනය කර දියත්කර ඇති බවය.
ඒ සදහා සහායවීමට තෝරාගත් ආයතනවලට ඩෙස්කටොප් පරිඝණක ලබාදුන් බවත් ඉහත කාර්යයන් ඉටුකිරිමේ දි අලුතින් පිහිටුවනු ලැබු තාක්ෂණික අභියෝග සහ සීමිත ධාරිතාව ගොඩනැගිමේ අභියෝගයන්ට මුහුණදුන් අතර එහි ප්‍රථිපලයක් වශයෙන් ජාතික දේශගුණ විපර්යාස සදහා වු දත්ත හුවමාරු ජාලකරණ පද්ධතිය තාවකාලික අක්‍රියතාවයට ලක්වු බවය.







