උපෙක්ෂා උඩුවැරැල්ල –
අවසානයේ ජනාධිපති අනුර කුමාර දිසානායක සියලු වැඩ නවත්වා මහනුවරට ආවේය. ඊයේ රාත්‍රියේ නුවර පැමිණි ඔහු සිරි දළදා පෝලිමේ ඉන්නා ජනතාව දකින්නත් ගියේය. ජනාධිපතිවරයා අද (25) උදේ හිටියේත් මහනුවරය.
ජනාධිපතිවරයා මහනුවරට එන්නේ දළදා වන්දනාව සඳහා ආවරණ සහිතව සකස් කර ඇති ප්‍රවේශවල සිට ප්‍රාධන මාර්ග තුනේම කිලෝ මීටර 10ක් දිග පෝලිමක මූලික සනීපාරක්ෂක පහසුකමක් පවා රහිතව ලක්ෂ හතරක් මිනිස්සු දින ගණන් දුක් විඳිද්දීය. ඒ පෝලිම්වලම මැරී වැටෙද්දීය. ඊයේ (24) දිනයේත් මිනිස්සු දෙදෙනෙක් පෝලිම්වලම මිය ගියහ. මේ වනවිට පෝලිම්වල සිටියදී වාර්තාවන මරණ ගණන 06කි.
ජනාධිපතිවරයා VIP පෝලිම් නොපවත්වන ලෙස නිර්දේශ කර තිබිණි. අද උදේ ජනාධිපතිවරයා මහනුවර ඉන්නේ දියවඩන නිලමේ ඇතුළු දළදා භාරකාරිත්වයත් රාජ්‍ය නිලධාරී යාන්ත්‍රණයත් එම උපදෙස් තඹයකට නොතකා හොර පාරෙන් දළදා වැන්දවීමට දහස් ගණන් මිනිසුන් රැගෙන යද්දීය. මේ තිබෙන්නේ අද දළදා මාළිගාවේ දියවඩන නිලමේ විසින් මුද්‍රණය කර බෙදා හැර ඇති විශේෂ අවසර සංකේතය ය. ඒ තමන්ගේ විශේෂ ආරාධිතයන්ට පෝලිම පන්නවා දළදා වන්දනා කරවීමටය. මේ සංකේතයේ වර්ණය දවසින් දවස වෙනස් වන්නේය. අද වර්ණය රෝස පාටය.

මහනුවර මහ නගර සභාවේ කුණු එකතු කිරීමේ කාර්යයට සිටින්නේ කම්කරුවන් 120කි. ඊට අමතරව ස්වේච්ඡාවෙන් බාලදක්ෂයෝ යම් කාලයක් පවිත්‍රතා කටයුතු සඳහා එක්වන ආකාරයක් දක්නට ලැබිණි. ඔබතුමාගේ ක්ලීන් ශ්‍රි ලංකා ලොවෙත් නැත. ලොවි ගහෙත් නැත. මේ වනවිට නුවරම කුණු ගොඩකි. කටුගස් තොට සිට මහනුවර දක්වාත්, මහනුවර සිට අම්පිටිය දක්වාත් සියලුම අතුරුපාරවල් ඇතුළු මාර්ග රැසකට මේ වනවිට පා ගමනින් හෝ ප්‍රවේශ විය නොහැකි තත්ත්වයක් ඇති වී තිබේ.
ඊයේ දිනයේ පමණක් ගොහාගොඩ කසළ අංගනයට බැහැර කර ඇති කසල ප්‍රමාණය ටොන් 305කි. නුවර ආසන්න ග්‍රාමසේවා වසම් 40කට මහනුවර පිරිසිදු කිරීමේ කාර්යයට හෙට සිට එක්වන්නැයි මේ වනවිට මහනුවර මහ නගර සභාව ඉල්ලා සිටී. ජනාධිපතිවරයා නුවර යන්නේ රාජ්‍ය යාන්ත්‍රණයම අවුල් වී හත්පොලේ ගාගෙන සිටියදීය. රටේ ජනතාවටත් ජනාධිපතිවරයා ඇතුළු රජයටත් කෙළවෙන්නට හැර දියවඩන නිලමේ ඇතුළු දළදා භාරකාරිත්වය තමන්ගේ ගේම ගහගනිමින් දළදා වන්දනාවේ මහා ගැඹුරු අර්ථය මස්තබාල්දු කරමින් සිටියදීය.

ජනාධිපතිවරයා අද පෙරවරුවේ සියම් නිකායේ මල්වතු සහ අස්ගිරි පාර්ශ්වයේ මහා නා හිමිපාණන් වහන්සේලාත් දළදා තේවාව භාර පූජ්‍ය උරුලෑවත්තේ ධම්මරක්ඛිත නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ බැහැ දැක්කේය. එමෙන්ම ඊයේ ජනාධිපතිවරයා විසින් හදිසි සාකච්ඡාවක් කැඳවනු ලැබුවේය.
සිරි දළදා වන්දනාව සඳහා පැමිණෙන බැතිමතුන්ට පහසුකම් සැපයීම, සනීපාරක්ෂාව ඇතුළු කරුණු පිළිබඳව කැඳවනු ලැබූ මේ සාකච්ඡාවට කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ. ඩී ලාල්කාන්ත, මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ නිලංග දෑල බණ්ඩාර, වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය, යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ලසන්ත රොද්‍රිගෝ, මධ්‍යම පළාත් ආණ්ඩුකාර, මහාචාර්ය සරත් අබේකෝන්, මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත ඇතුළු පිරිසක් එක් වී සිටියහ. මේ ඇත්තන් මේ සිරි දළදා වන්දනාව ගැන ජනාධිපතිවරයාට මොනවා කීවාදැයි අප දන්නේ නැත. එහෙත් එළියේ සිට බලන අපට ඔබගෙන් අවධාරණය කර ඉල්ලිය යුතු යමක් තිබේ.
ජනාධිපති තුමනි. දැන් මේ වන්දනාව හොඳටෝම ඇතිය.
ඊයේ ඔබතුමා පිරිවරාගෙන සිටි යේ ජනවරමකට අඩංගු නොවන රාජ්‍ය නිලධාරී යාන්ත්රණයකි. දළදා භාරකාරිත්වය හිමි කාරිත්වය කොට හැසිරෙන ජනවරමකට අඩංගු නොවන උද්දච්ඡ හිස් මිනිස් කෑලි ටිකකි. ඔවුන්ගේ හැසිරීම දැන් නම් අපට අප්රසන්නය. සිරි දළදා වන්දනා සමයේ නුවර ඉන්නා ගමන් මේ නිරුවත් වානර රංගනය දැක ගන්නා ලෙස පුරවැසියන් ලෙස අපි ඔබට ඇරයුම් කරමු.
රටේ ජනාධිපතිවරයා ලෙස නීතිය හා සාමය ආරක්ෂා කිරීමට ඔබට ඉන්නේ අපූරු පොලිසියක් බවත් කිව යුතුය. ඔබ මේ රටේ විධායක ජනාධිපතිවරයා මෙන්ම ත්‍රිවිධ හමුදාවේ සේනාධිපතිය. ආරක්ෂක ඇමතිය. මිනිසුන් ලක්ෂ ගණන් පෝලිම්වල ලගිමින් දුක් විඳිද්දි ඇතැමුන් පෝලිම්වල මිය යද්දී VIP පෝලිම් නිර්මාණය නොකරන ලෙස ඔබ දුන් විධානය දියවඩන නිලමේ හෝ සංඝයා වහන්සේ නොතකා සිටීම තේරුම්ගත හැකිය. අපට ඇති ගැටලුව ඔබ නුවර ඉන්නා මෙහොතේත් පොලිසියේ ලොක්කන් තමන්ගේ සූපිං කැලි පෝලිම පන්නවා වැන්දවීමට දළදා මාළිගාවට රැගෙන යන අයුරු පෙනීමය.

සිරි දළදා වන්දනාව 2025 – අසංස්කෘතිය පිළිබද සමාලෝචනය
දළදා වන්දනාව නැතහොත් දළදා ප්‍රදර්ශන පූජා මහෝත්සවයක් මහජනතාව වෙනුවෙන් පැවැත්වීමට නම් මල්වතු අස්ගිරි උභය මහා විහාරයේ අතිපූජ්‍ය මහානායක මාහිමිපාණන් වහන්සේලා දෙනම හා ශ්‍රී දළදා මාලිගාවේ ගිහි භාරකාර දියවඩන නිලමේවරයා යන තුන් පාර්ශවයම එකගතාවයකට පැමිණ තීරණයකට එළඹිය යුතුය.
දියවඩන නිලමේවරයා විසින් අස්ගිරි – මල්වතු මහානායක මාහිමිපාණන් වහන්සේලාගේ අවවාද අනුශාසනා අභිමතය පරිදි ප්‍රථමයෙන් සාම්ප්‍රදායානුකූලව රටේ ජන නායකයා වූ ජනාධිපතිතුමන් වෙත සිරි දළදා ප්‍රදර්ශන පූජා මහෝත්සවයේ දින වකවානු දැනුම් දීමෙන් අනතුරුව සියළු ජනමාධ්‍යයන් මගින් ශ්‍රී දළදා ප්‍රදර්ශන මහොත්සව දින වකවානු ප්රකාශනයට පමුණුවා රාජ්‍ය දෙපාර්තමේන්තු හා ස්වේච්ඡා සංවිධාන රැස් කරවා සංවිධාන සැලසුම් කටයුතු සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරදීම සිදු කරනු ලැබේ.
අතිපූජනීය දළදා ප්‍රදර්ශන පූජා මහෝත්සව සංවිධාන කාර්යයන්හි ඉතා සුවිශේෂ ලක්ෂණය වන්නේ ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේවරයාගේ ප්‍රධානත්වයෙන් සංවිධානය කෙරෙන, රැස්වන ජනී ජනයාට අවශ්‍ය පොදු පහසුකම් සියල්ල උපරිම ලෙස සලසා දීමය.
මෙරට බෞද්ධ ජනතාව පමණක් නොව ලොව නන් දෙස ජනයා ලක්ෂ සංඛ්‍යාත පිරිසක් මහනුවරට පැමිණීමට පටන්ගත්තේ දළදා වහන්සේ සියැසින් දැක වන්දනාමන කර ගැනීමේ අපමණ භක්තියෙන් යුතුවයි. මෙවර දළදා ප්‍රදර්ශනයේ විශේෂත්වය වූයේ මම අසිරිමත් අවස්ථාව මෙරට ජනතාවට උදා වූයේ වසර 16 කට පසුව වීමයි.
දිනෙන් දින මහනුවර ලක්ෂ සංඛ්‍යාත ජනතාවගෙන් පිරි ඉතිරි යන්නට විය. ඔවුන් වෙනුවෙන් ලබාදිය හැකි සියලු පහසුක්ම නොඅඩුව ලබා දෙන ලෙස ජනාධිපතිවරයා සියලු රාජ්‍ය ආයතනවලට උපදෙස් ලබා දුන්නේය.
වසර ගණාවකට පසුව උදා වූ මේ පූජනීය, උත්තම නිමේෂය වෙනුවෙන් ගලා ආ ජන ගඟ මහනුවරට දරාගත නොහැකි බවට කිසිදු වාදයක් නැත. දළදා දැක්ම සංවිධායකින් මෙය බලාපොරොත්තු උනාද නැතිද යන්න පැහැදිලි නොවේ. අප දුටුවේ ඔවුන් පැහැදිලිවම මේ අවස්ථාව සඳහා සූදානම් වී නොසිටි බවය. ජනතාවට අවශ්‍ය පහසුකම් සැලසීම වෙනුවෙන් ජනාධිපතිවරයා ප්රමුඛ රජය ගත් තීන්දු තීරණ සහ උපදෙස් ක්‍රියාවට නැංවීමට අදාළ සියලු රාජ්‍ය ආයතන සහ නිලධාරින් සැබවින්ම දායක වූවානම් ලක්ෂ සංඛ්‍යාත ජනතාවකට මේ ආකාරයෙන් පෝලිම්වල දුක් විඳින්නට සිදුනොවන බව නම් සහතික කර කිව හැකිය.
අපේ ඇස් පනාපිට දක්නට ලැබුණේ හද කකියන සුළු දේය. එනම් දළදා වන්දනාව සමඟ දළදා මාළිගාවේ පාලන අධිකාරියේ තුළ වූ චර්යාව සහ අසංස්කෘතික මානසිකත්වය ය.
මහජන පෝළිම් වලින් පිට දළදා වැන්දවීම සිදු නොකරන ලෙස රටේ විධායක ජනාධිපතිවරයා ඉල්ලා තිබිණි. එහෙත් දළදා භාරකාරිත්වය මුලින්ම සිදු කළේ දින ගණන් පෝලිමේ සිටිමින් දළදා වන්දනාවට රට වටෙන් එක් වී සිටි ජනතාව පැය එක හමාරක් පෝලිම්වල ප්‍රමාද කර තමන්ගේ පිරිසට දළදා වැන්දවීමයි.
අප්‍රේල් 18 වැනිදා දළදා වන්දනාව ආරම්භ වූ දිනයේ ජනාධිපතිවරයා දහවල් 12.30ට නිල වශයෙන් දළඳා දැක්ම ආරම්භ කරන අවස්ථාවට සහභාගී විය, ඒ අතර වාරයේ විශාල පිරිසක් පෝළිම්වලට සකස් කර තිබිණි. දළදා දැක්ම නිල වශයෙන් ආරම්භ වීමට නියමිතව තිබුණේ ප.ව 3.30 ට වුව ද ජනාධිපතිවරයා දළදා මාළිගාවෙන් පිටත් වීමත් සමග දළදා වන්දනාව ආරම්භ වූ බව එහි සිටි අපට දැක ගැනීමට හැකි විය.
මෙලෙස පැමිණෙන පුද්ගලයන් අතර රාජ්‍ය නිලධාරීන්, හමුදා සහ පොලිස් නිලධාරීන්, දේශපාලනඥයන් සහ වෙනත් බලවත් පුද්ගලයන් සිටි බව පෙනෙන්ට තිබිණි. එවැනි පුද්ගලයන්ගේ ඥාතීන් සහ පවුල්වල සාමාජිකයන්ද සිටියහ. එය ජනාධිපතිවරයාගේ අනුදැනුමකින් තොරව දළදා මාළිගාවේ පාලන අධිකාරියේ අවශ්‍යතාව මත සිදු වූ බව නිශ්චිත සොයා බැලීමකින් පසු අනාවරණය විය.

මහනුවර දළදා මාළිගයේ දියවඩන නිලමේ තනතුර සඳහා නිලවරණය වෙනුවෙන් මෙම අවස්ථාව අවභාවිත කිරිමට වත්මන් දියවඩන නිලමේවරයා කටයුතු කරන ආකාරය අපි දෑසින් දුටුවෙමු. සැප්තැම්බර් මාසයේදී පැවැත්වෙන නිලවරණයට ඡන්දය භාවිත කිරීමට නියමිත ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ පවුල්වල සාමාජිකයන් පවා වීඅයිපී පහසුකම් යටතේ දළඳා වන්දනා කළ අකාරය දැකගත හැකි විය.
පිටතින් එන අයව, එළියේ සිටින ජනතාව ඇතුළට පැමිණෙන මොහොතේ ඒ පෝළිමටම සම්බන්ධ කරයි. දින ගණනාවක් පුර අනේකවිධ දුෂ්කර විද දරා ගනිමින් පෝළිම රැඳී සිටි ජනතාව මේ අශිෂ්ට කුපාඩිකම උපේක්ෂාවෙන් දරාගන්නා ආකාරය දුටුවෙමු.
දළදා දැක්මේ දී විශේෂ අවස්ථා සහ විශේෂිත පෝළිම් නොමැති බවට ආණ්ඩුව කර තිබූ ප්‍රකාශය නිසාම මෙම තත්ත්වය සමාජය තුළ නිරන්තර කථා බහට ලක් විය. මෙවන් උතුම් කාර්යයක් පිටුපස තිබු දේශපාලනීකරණය සහ පටු අරමුණු ඉටු කිරීමේ අපේක්ෂාවන් හෙළුවෙන්ම දැකගත හැකි විය.
දළදා භාරකාරිත්වය මිනිස්සු අතපල්ලෙන් අත්හැරීම
මෙහි සිදු වූ තවත් කම්පනය දන්වන කරුණක් වන්නේ බැතිමතුන්ට පහසුකම් සැලසීමේදී දළදා මාළිගාවේ පාලන අධිකාරිය දැක්වූ අඩු සැලකිල්ලය.
දළදා වන්දනාව සංවිධානය කිරීමෙහිලා මූලික කටයුතු මධ්‍යම පළාත් සභාව, මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ මහනුවර නගර සභාව වෙත පැවරී තිබිණි. ඒ වෙනුවෙන් පරිපාලන කමිටුවක් ද පත් කර තිබූ අතර දළදා වන්දනාව වෙනුවෙන් මහනුවරට පැමිණෙන ලක්ෂ සංඛ්‍යාත ජනතාවට පහසුකම් සැලසීම පිළිබඳ එම කමිටුවේදී සැලසුම් සකස් කර තිබිණි.
නමුත් මෙම දළදා වන්දනාව පිළිබඳ රට පුරා ජනතාව තුළ ඇති වූ උද්යෝගයත් සමග මෙම පහසුකම් ප්‍රමාණවත් නොවන බව අවබෝධ වූ හෙයින් එම පහසුකම වැඩි කරන ලෙස අවස්ථා කිහිපයකදීම සංවිධාන කමිටුවට යෝජනා ඉදිරිපත් වුවද ඒ පිළිබඳ පාලන අධිකාරියේ නිසි අවධානයක් යොමු වී නොතිබිණි.
උතුම් දළදා වහන්සේ සියැසින් දැක වැද පුදා ගැනීම වෙනුවෙන් දින ගණනක් පොලිමේ රැදී සිටින ජනතාවට මුහුණ අතපය දෙවා පිරිසිදු වීමට අවශ්‍ය ජල පහසුකම් සහ සනීපාරක්ෂක පහසුකම් ස්ථාපනය කිරීමට සැලසුම් කර තිබුණද එම යෝජනාව පළමු කමිටු රැස්විමේදීම ප්‍රතික්ෂේප වූයේය.
එසේම දළදා වන්දනාව වෙනුවෙන් පෝළිම් ස්ථාපිත කිරීමද සැලසුම් කළ ආකාරයට සිදු නොවූ බවත් ඒ හේතුවෙන් ජනතාවට දැඩි පීඩාවකට ලක්වීමට සිදු වූ බවටත් චෝදනා එල්ල වූයේය.
කසළ බැහැර කිරීමට යොදවා තිබු සේවක පිරිස සහ කාර්යක්ෂමතාවද කිසිසේත්ම ප්‍රමාණවත් නොවේ. මෙම ලක්ෂ සංඛ්‍යාත ජනතාවකගෙන් පිරි ඉතිරි ගිය මහනුවර පවිත්‍රතාව රැක ගැනීම සාමුහික එක්වීමකින් තොරව සාර්ථක කරගත හැකි කාර්යයක් නොවේ. අවසන් මොහොතේදී තත්ත්වය පුපුරා ගියේය. අද මහනුවර මහ නගර සභාව කසල ඉවත් කිරීම සදහා ජනතා සහයෝගය ඇයද සිටියේය.

හමුදා සහාය ප්‍රතික්ෂේප කිරීම
ශ්‍රී දළදා වහන්සේගේ හා ශ්‍රී දළදා මාලිගාවේ ආරක්ෂාව අරභයා දුරාතීතයේදී රජ දරුවන්ගේ රාජකීය හමුදා ඛණ්ඩයන්ගේ සහාය නොඅඩුව ලැබුණු බව වංශ කථාවන්ගෙන් හෙළිවේ. පොළොන්නරු රාජ්‍ය සමයේ පළවෙනි විජයබාහු රජු දවස වේළයක්කාර හමුදාව යොදවා දළදා වහන්සේ, දළදා මන්දිරය, එහි සියළු දේපල ඇතුළු නිලකරුවන්ගේ හා පැමිණෙන පිරිස් වල ආරක්ෂක කටයුතු සලසා තිබුණ බව ” වේළයක්කාර සෙල්ලිපියෙන්” තහවුරු වන්නේය.
ඒ අනුව අතීතයේ සිට මේ දක්වා සෑම දළදා ප්‍රදර්ශනයකදී මෙන්ම මේ සඳහා ත්‍රිවිධ හමුදාවේ සහාය ලබා ගැනීමට හැකිව තිබුණ ද සංවිධාන කමිටුව ඊට ඇහුම්කන් දුන්නේ නැත. ඔවුන්ට අවශ්‍ය වූයේ ස්වකීය අභිමතයන් උදෙසා මේ අවස්ථාව පාවිච්චි කල හැකි තමන්ට හැසිරවීමට පහසු යාන්ත්රණයකි. මේ අවස්ථාවට ත්‍රිවිධ හමුදාවේ දායකත්වය ලබා ගත්තා නම් ජනතාව හැසිරවීම සහ පවිත්‍ර කරණයේදී මෙතරම් දුෂ්කරතා වලට මුහුණ දීමට සිදු නොවන ආකාරය දැන් පැහැදිලි වෙමින් තිබේ.
අවසානයේ සමස්ථ සාරාංශය ගොනුවන්නේ මෙම පූජනීය අවස්ථාව දේශපාලනික උවමනාවන්ට හසුවී, සමාජ සාධාරණත්වය පිළිබඳ යථාව ලෝකයට පෙන්වූ සිත් පාරවන අත්දැකීමක් ලෙසය. අප ජනාධිපතිවරයාට යෝජනා කරන්නේ සිංහලයේ මහා අධ්‍යාත්මික සංකේතය වූ ශ්‍රී දළදා වහන්සේ සහ සමාජය අතර ඇතිවන වඩාත් ගැඹුරු අධ්‍යාත්මික ප්‍රකාශන අවස්ථාවත් ජනාධිපතිවරයා ඉදිරියේ දීම අවභාවිතා වී ඇති ආකාරය ඒ බරින්ම දැකගන්නා ලෙසය.
මේ ජනාධිපති ධූරයට වඩා අම්මාවත් බලාගෙන තඹුත්තේගම හේනක් කොටාගෙන සිටීම හොඳ යැයි නොසිතෙන තැනට අනාගතය සැලසුම් කරගැනීමට දළදා වහන්සේ විසින්ම ආලෝකයක් සපයා ඇති බව පමණක් ඔබතුමා වෙත ගෞරවයෙන් ලියා තබමු.







