‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩ සටහනට සමගාමීව ශ්‍රී ලංකා පොලීසිය විසින් e-Traffic ජංගම දුරකථන යෙදුම අද (01) පොලිස් මූලස්ථානයේ දී වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය විසින් හඳුන්වා දුන්නේය.
මාර්ග ආශ්‍රිතව සිදුවන රථ වාහන වැරදි හා මාර්ග නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධව මහජනතාවට ක්ෂණිකව පැමිණිලි කිරීමේ පරමාර්ථයෙන් මෙම යෙදවුම හඳුන්වා දී ඇත.
ශ්‍රී ලංකා පොලිසියේ නිල වෙබ් අඩවිය වන www.police.lk ඔස්සේ E-services වෙත පිවිස e-Traffic ජංගම දුරකථන යෙදවුම ජංගම දුරකථනය වෙත පහසුවෙන් බාගත කර ගැනීමට හැකියාව ඇති බව පොලීසිය පවසයි.
ඒ මඟින් මහජන පැමිණිලි ක්ෂණිකව පොලිස් මූලස්ථානය වෙත යොමු කළ හැකි බවද පොලීසිය සඳහන් කළේය.
දෛනිකව සිදුවන රිය අනතුරු අවම කර ගැනීමට මහජනයාගේ සහාය ලබා ගැනීම මෙම e-Traffic ජංගම දුරකථන යෙදවුම හඳුන්වා දීම මඟින් අපේක්ෂා කෙරේ.
මෙම යෙදුමේ ඇති Camera option icon හෝ Vedio option icon භාවිතයෙන් රථවාහන වැරදි සම්බන්ධයෙන් හා මාර්ග ආශ්‍රිතව සිදුවන අනෙකුත් සිදුවීම් සම්බන්ධයෙන් ඡායාරූප සහ වීඩියෝපට පොලිස් මූලස්ථානය වෙත යොමු කළ හැකි බව පොලීසිය පවසයි.
එලෙස ලබා දෙන තොරතුරු අනුව රථවාහන වැරදි සිදු කරන රියදුරන් හා අනෙකුත් සිද්ධීන් සම්බන්ධයෙන් විමර්ශන කර ඉදිරි නෛතික ක්‍රියාමාර්ග ගැනීම සඳහා අදාළ පොලිස් ස්ථාන හා පොලිස් අංශ වෙත යොමු කිරීමට පොලිස් මූලස්ථානය කටයුතු කරනු ඇත.
එම විමර්ශන කටයුතුවල ප්‍රගතිය සම්බන්ධයෙන්ද පොලිස් මූලස්ථානය මඟින් අධීක්ෂණය කරනු ලබන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් සඳහන් කළේය.







