ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපතිවරණ මංගල රැලිය හෙට (21) අනුරාධපුරයේ දී පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබේ.
මංගල රැළිය සැලසුම්කර තිබුණේ සල්ගාදු ක්‍රීඩාංගනයේ නමුත් ජනාධිපතිවරයාගේ මැතිවරණ ප්‍රචාරණය ආරම්භ කළ 17දා සිට ඉදිරියට 23 දා දක්වා එම ක්‍රීඩාංගනය යම් කණ්ඩායමක් විසින් වෙන් කරගෙන තිබුණු බැවින් මංගල ජන රැළිය කඩ පනහ භූමියේ පවත්වන්නට සිදුවන බව පොහොට්ටුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි.
පසුගිය 12 වැනිදා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මාධ්‍ය අමතමින් මෙසේ පැවසුවේය.
“පොහොට්ටුවෙ මංගල රැස්වීම පවත්වන්නෙ අනුරාධපුරයේ. 21 වැනිදා අපි සල්ගාදු ක්‍රිඩාංගනයේ තමයි යොදාගෙන තිබුණේ අපේ රැස්වීමට. ඒ යොදාගන්න රැස්වීම් කමිටුවේ අපේ චන්ද්‍රසේන ඇමතිතුමා හිටියා. ජාතික කැඳවුම්කරු විදිහට රෝහිත ඇමතිතුමා හිටියා. පවිත්‍රා වන්නිආරච්චි මැතිණිය හිටියා මේ සැලසුම් හදද්දි මෙහෙ භාණ්ඩාගාරික විදිහට. “
“ඒ සියලු දෙනා දන්නවා මේ රැළිය පවත්වන්න තිබුනෙ සල්ගාදු ක්‍රීඩාංගනයේ කියලා. ඒගොල්ල ගිහිල්ලා රනිල් වික්‍රමසිංහ මැතිතුමාට හේත්තු වුනා. කවදාවත් රනිල් වික්‍රමසිංහ ජනාධිපති තුමා අනුරාධපුරේ සල්ගාදු ක්‍රීඩාංගනයෙන් රැස්වීම් පටන් ගත්තේ නෑ. හැබැයි මේ පාර 17 වැනිදා රනිල් වික්‍රමසිංහ මැතිතුමා ගෙනිහිල්ලා අපේ තැන, සල්ගාදු ක්‍රීඩාංගනය රැස්වීමක් තියනවා… ඒක එතනින් නතර නොවී 23 වැනිදා දක්වා ක්‍රීඩාංගනය බුක් කරලා තියනවා.” තිස්ස කුට්ටිආරච්චි හෙළි කලේය.
කෙසේ වෙතත් මංගල ජන රැළිය හෙට කඩ පනහ භූමියේ පැවැත්වෙන බවත්, පොහොට්ටුවේ ප්‍රාදේශීය නායකයින් ලෙස පෙනි සිටි පිරිස් ජනාධිපතිවරයා සමග එක් වුවද බිම් මට්ටමේ ජනතාව තවමත් නොසෙල්වී සිටින බවට හෙට පැහැදිලි වනු ඇති බවත් පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ පැවසුවේය.
කඩපනහ භූමියේදී පවත්වන රැලියට පිට පළාත්වලින් ජනතාව රැගෙන නොඑන ලෙස තමා පක්ෂ සංවිධායකයින්ට දැන්වූයේ යැයි ද නාමල් රාජපක්ෂ කීවේය. වෙනත් පක්ෂ මෙන් සෙනග පෙන්වීම සදහා බස් වලින් පිට පළාත්වල සෙනග අදිමින් ජනතාවගේ කාලය සහ මුදල් විනාශ නොකළ යුතු බවත් නාමල් රාජපක්ෂ පැවසීය.
“අනුරාධ පුර ජනතාවනි. හෙට කඩ පනහට එන්න… ” නාමල් රාජපක්ෂ අනුරාධපුර ජනතාවට විවෘත ආරාධනයක්ද සිදු කළේය







