කීර්ති ප්‍රනාන්දු –
ගුවන් තොටුපොළ පරිශ්‍රය තුළ සෞඛ්‍ය සේවා කටයුතුවල නිරත වී සිටි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු 06 දෙනකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සභාපති උපුල් රෝහණ පවසයි.
මේ වන විට ගුවන් තොටුපළ තුළ දැඩි අවදානම් තත්ත්වයක් මතුවී ඇතැයි පවසන උපුල් රෝහණ ගුවන් තොටුපලට පැමිණෙන විදේශිකයන් හා ශ්‍රී ලාංකිකයන් සෞඛ්‍ය උපදෙස් පිළිනොපදින තත්ත්වයක් පවතින බවද කියා සිටී.
මෙම අනාරක්ෂිත තත්ත්වය තව දුරටත් පැවතුනහොත් ගුවන්තොටුපල තුළ සෞඛ්‍ය සේවා රාජකාරීවල නිරතව සිටින මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් එම සේවාවලින් ඉවත් කර ගන්නා බව ද උපුල් රෝහණ කීය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සභාපතිවරයා මෙසේ ද කීවේය.
“ගුවන්තොටුපල පරිශ්‍රය තුළ ඉතා කැපවීමෙන් රාජකාරි කළ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු හයදෙනෙකු කොරෝනා ආසාදිත බවට හඳුනා ගත්තා. අපි පසුගිය කාලය පුරාම පෙන්වාදුන්නා ගුවන් තොටුපලේ ඇති අනාරක්ෂිත තත්ත්වය ගැන. ගුවන් තොටුපළ තුළ විදේශිකයන් හා ශ්‍රී ලාංකිකයන් මුව ආවරණ නොමැතිව සෞඛ්‍ය උපදෙස් පිළි නොගනිමින් ගුවන්තොටුපල පරිශ්‍රය තුළ කටයුතු කරනවා. එහා මෙහා සැරිසරනවා. ඔවුන් සමග මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට කටයුතු කරන්න සිදුවෙලා තියෙනවා. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ආසාදිතයන් බවට පත්වෙලා තියෙනවා.“
“දිගින් දිගටම ගුවන්තොටුපල තුළ මේ තත්ත්වය පැවතුණහොත් වගේම තියෙන පහසුකම්වත් ලබා නොදී අත්තනෝමතික විදියට කටයුතු කරන සෞඛ්‍ය බලධාරීන්ගේ මේ ක්‍රියාකලාපයට විරෝධයක් දැක්වීමක් ලෙසත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව පිළිබඳව සිතා ගුවන් තොටුපළ තුළ රාජකාරි කරන සියලුම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ගුවන්තොටුපල පරිශ්‍රයෙන් ඉවත් කර ගැනීමට කටයුතු කරන බව ද කියා සිටීමට කැමතියි.“







