මනම්පිටිය නිමල් ජයරත්න –
නැගෙනහිර පළාතේ තොප්පිගල මායිමේ පිහිටි ඉපැරණි නටබුන් සහිත රක්ෂිත භූමියක් වනසා ප්‍රදේශයේ කණ්ඩායමක් අක්කර 2500 ක් පමණ භූමියක මහා පරිමාණ වී වගාවක් සිදු කිරීමට සූදානම් කර ඇති බව වැලිකන්ද උත්තුචේන ගම්වාසීහු පවසති.
මීට අමතරව 1926 ඔප්පු සහිත ශ්‍රී වෙල්ලිමලේ පිල්ලේයාර් කෝවිලට අයත් අක්කර 10 ක භූමියක්ද එම කණ්ඩායම විසින් 03 වනදා සවස් වන විට බලහත්කාරයෙන් අල්ලාගෙන වී වගා කිරීම සඳහා සී සෑමට කටයුතුක කර ඇති බව ප්රදේශවාසියෙක් වූ එච්.එම්.එස්.කේ. නිශ්ශංක සඳහන් කලේය.
එරාවුර් කාත්තන්කුඩි අක්කරෙයිපත්තු කල්මුණෙයි යන ප්‍රදේශවල පදිංචි මෙම කණ්ඩායම ඉපැරණි බෞද්ධ සිද්ධස්ථාන චෛත්‍යය මෙන්ම සිරිපතුල් රැසක් වනසා ඇති බව වාර්තා වේ.

ඔවුන් ප්‍රදේශයේ වටිනා පරිසර පද්ධතීන් විනාශ කර මෙම මහාපරිමාණ වී වගාවට සූදානම් කර ඇති අතර ඒ පිලිබඳ බලධාරීන් කොතෙක් දැනුම්වත් කළ ද මෙතෙක් ඊට කිසිදු පියවරක් ගෙන නැති බව ද ප්‍රදේශවාසීහු කීහ.
එම කල්ලිය විසින් රක්ෂිතය තුළ පැල්පත් තනා නවාතැන් ගෙන හින්දු ජාතිකයන්ට අයත් බලපත්‍ර සහිත ඉපැරණි කුඹුරු බිම් රැසක් බලහත්කාරයෙන් අල්ලා සී සෑමට සූදානම් කර ඇති බවද උත්තුචේන ගම්වාසීහු සඳහන් කරති.
අප මේ පිළිබදව වැලිකන්ද ප්‍රාදේශිය ලේකම් හයිරූම් නිශාගෙන් දුරකතනයෙන් කළ විමසීමකදී ඇය සඳහන් කලේ මේ පිලිබඳව පරීක්ෂණයක් පවත්වා අදාළ සියලු පාර්ශව කැඳවා 06 වනදා සාකච්ඡාවක් සිදුකර ගැටලු විසදීමට මැදිහත් වන බවයි.







