වීරකැටිය පොලීසිය අතුබෝදය ප්‍රදේශයේ කළ වැටලීමකදී ගරාජයක හිමිකරුවකු වන ටින්කරින්වරයකු සහ බේකරිකරුවකු සමඟ අත්අඩංගුවට ගත් රුපියල් කෝටි දෙසීයකට අධික වටිනාකමක් ඇති හෙරොයින් කිලෝ 101ක් අඩංගු පැකට් 92 සම්බන්ධව මේ වනවිට විශාල තොරතුරු ප්‍රමාණයක් අනාවරණය වී තිබේ. අනාවරණය වී ඇති ආකාරයට කතාව මෙසේය.
මේ ටින්කරින් බාස් සහ බේකරිකරුවා යන දෙදෙනාම අවුරුදු විසි ගණන්වල තරුණයින්ය. මෙම තරුණයින්ට සතියකට පමණ පෙර කොළඹ රැඳී සිටින බව කියන ඔවුන් දන්නා කියන වීරකැටියේ පදිංචි පුද්ගලයෙක් දුරකතන ඇමතුමක් දී ලොරි රථයකින් බඩු ටිකක් එවන බවත් එය ආරක්ෂිතව සඟවා තබාගෙන සිටින ලෙසත් පවසා ඇති බව සඳහන්ය. අනුව මේ තරුණයින් දෙදෙනා ඒ යෝජනාවට එකඟ වී ඇත්තේ බඩු මොනවා දැයි අවබෝධයකින් තොරවය.
දින 04කට පසු හදිසියේ මෙම තරුණයෙකුගේ දුරකථනයට ඇමතුමක් ලැබී ඇත. බඩු රැගෙන ලොරියක් පැමිණ ඇති බවත්, නිවස ඉදිරිපිට ඇති ලොරියෙන් ඒ බඩු ටික බා ගැනීම සඳහා පුලුවන් ඉක්මනින් එම ස්ථානයට එන ලෙසත් මුලින් කතා කළ තරුණයින්ගේ හිතවත් පුද්ගලයා දැනුම් දී තිබේ. පැය බාගයක් ඇතුළ තරුණයින් තම වැඩබිම අසලට පැමිණ ඇත.
ලොරිය වත්ත තුළට ඇතුළු කර ඇත. තරුණයින්ට දැනුම් දුන් “බඩු” තොගය තිබී ඇත්තේ ලොරි රථයේ බඳ කොටසේ ඉතා සූක්ෂ්මව සඟවාය. බඩු බැලූ බැල්මට පෙනෙන්නේ කෝපි ඇසුරුම් ලෙසය. බඩු පැටකට් 82කි. ඒ සමගම තරුණයෙකුගේ දුරකථනයට ඩුබායිවලින් ඇමතුමක් ලැබී ඇත. ඩුබායි ඇමතුමේ දී කතා කළ පුද්ගලයා පවසා ඇත්තේ මේ ඇත්තේ මත්කුඩු බවත් මේ මත්කුඩු තොගය ආරක්ෂ කළ යුතු බවත් දන්වා ලොරියේ චැසියෙන් මත් කුඩු ගන්නා ආකාරය, මත්කුඩු සඟවන ආකාරය ඇතුළු සියලුම අවස්ථා එම තරුණයා ලවා වීඩියෝ කෝල් වලින් දකිමින් නිරීක්ෂණය කර තිබේ. අනතුරුව තරුණයා ලවා සියලුම අවස්ථා ඡායාරූපගත කරවා තමන් වෙත වට්ස්ඇප් මාර්ගයෙන් ගෙන්වාගෙන ඇත.

පොලිසියට මේ තරුණයින් පවසා ඇත්තේ මේ වනවිට තමන් සිදුවන දේ ගැන කරකියාගත හැකි දෙයක් නොමැති තත්ත්වයක් සිටි බවය. අනතුරුව ඔවුන් මේ කටයුත්තට තමන් සම්බන්ධ කළ පුද්ගලයා අමතා මෙවැනි වැඩ නොකරන ලෙසත් පොලිසියට හෝ යම් තොරතුරක් ලදහොත් මහා විනාශයක් තම ජීවිතවලට සිදුවන බවත් දන්වා ඇත. එහිදී අදාල පුද්ගලයා පවසා ඇත්තේ “බය වෙන්න එපා. ඕව කුඩු නෙමෙයි. පොලීසියට හසුවුණොත් මුකුත් වෙන්නේ නැහැ” යනුවෙන් බව තරුණයින් පොලිසියට පවසා තිබේ. බඩු ටික ප්‍රවේශමෙන් තබා ගත්තොත් තරුණයින් දෙදෙනා ගැන ද බලා ගන්නා බව මෙම පුද්ගලයා පවසා ඇත. තරුණයින් එයින් සෑහීමකට පත් වූ බව විමර්ශන අංශවලට පෙනී ගොස් තිබේ.
කෙසේ වෙතත් ලොරියේ චැසිය ගලවා “බඩු බෑම” අසල්වැසියෙක් දැක ඒ සම්බන්ධව පොලිස් බුද්ධි අංශයක් වන විශේෂ කාර්යාංශයේ වීරකැටිය පොලිස් ස්ථානයේ සේවයේ නිරත නිලධාරියෙකුටය. ඒ පෙරේදා (21) රාත්‍රී කාලයේදීය. එම නිලධාරියා ඒ බව වීරකැටිය පොලිස් ස්ථනාධිපති දැනුම්වත් කිරීමෙන් අනතුරුව වැටලීම දියත් කර ඇත්තේ ඊයේ (22) අලුයම් කාලයේදීය. එම වැටලීමේදී සඟවා තිබූ “බඩු” තොගය හමුවිය. කෝපි පැකට්වල අසුරා තිබුණේ හෙරොයින්ය. කිලෝ 101ක් බර පැකට් 92කි. අනතුරුව මත් කුඩු තොගය පර්යේෂණාගාර දෙකක දී රසායනික පරීක්ෂණවලට ලක් කර එහි අන්තර්ගතය ගැන තහවුරු කරගෙන තිබිණි. රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ද සවස් කාලයේ පැමිණ විමර්ශන සිදුකර තිබුණි. සැකයක් නැත බඩු ටික ඔරිජිනල්ම හෙරොයින්ය.
මෙම මත්කුඩු තොගය සඟවා තිබී ඇති ස්ථානයේ බේකරියක් සහ ගරාජයක් සහ නිවෙසක් ඇති බව පොලීසිය සඳහන් කරයි. මත්කුඩු තොගය සඟවා තිබුණේ යැයි පොලීසිය සඳහන් කරනු ලබන්නේ නිවෙස තුළය.
.මෙම පරීක්ෂාවන්ගෙන් පසු සැකකාර තරුණයින් දෙදෙනා රැඳවුම් නියෝග මත රඳවාගෙන විමර්ශන පවත්වයි.
මත්කුඩු ගෙනා ලොරි රථය සහ එම රථයේ මත්කුඩු තොගය අසුරා තිබුණු අයුරු දැක්වෙන ඡායාරූප කිහිපයක්ද එක් සැකකරුවකුගේ ජංගම දුරකතනයේ තිබී පොලීසිය සොයාගෙන ඇත. ඒ ඔස්සේ මත්කුඩු තොගය අතුබෝදරට රැගෙන ආ ලොරි රථය සහ රියදුරු සොයා විමර්ශන කණඩායමක් ඊයේ සිටම ක්‍රියාත්මකය.
මෙම මත්කුඩු තොගය මෙම ස්ථානයට රැගෙනවිත් සැඟවීමට අවශ්‍ය කටයුතු සම්බන්ධිකරණය කළ පුද්ගලයා කොටුකර ගැනීමට ද විමර්ශන ක්‍රියාත්මක බව පොලීසිය සඳහන් කළේය. ( දිනමිණ )







