පාස්කු ප්‍රහාරය සිදුවන්නට හැරීම සම්බන්ධව බරපතල චෝදනා ගණනාවකට ලක් වී පාස්කු කොමිෂන් සභාවේ දී අත්තනෝමතික ලෙස සිය රාජකාරි පැහැර හැරීම සම්බන්ධව හෙළිදරවු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සංජීව බණ්ඩාර පොලිස් සුබ සාධන කොට්ඨාස අධ්‍යක්ෂ ධූරයේ සිට රටේ ප්‍රධාන පොලිස් කොට්ඨාසයක්වන කුරුණෑග කොට්ඨාස භාර නිලධාරියා ලෙස පත් කිරීම සම්බන්ධව පොලිස් දෙපාර්තමේන්තුව තුළම විසංවාදයක් ඇති කර ඇතැයි අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.
ඊට එක් ප්‍රධානම හේතුවක් වන්නේ පොලිසිය භාර ඇමතිවරයාටත් සමීප පුරවැසි සම්බන්ධතාවයක් කුරුණෑගල කොට්ඨාසයට තිබීමය.
එමෙන්ම සංජීව බණ්ඩාර කුරුණෑගල කොට්ඨාසය භාර අධ්‍යක්ෂවරයා ලෙස පත් කරනුයේ මෙම වගකීම දැරූ, කිසිම දේශපාලන බලයකට යටත් නොවි නීතිය අකුරටම ක්‍රියාත්මක කිරීම සම්බන්ධව මහජන ආදරයට පත් වු පොලිස් ප්‍රධානියා පොලිස් මූලස්ථානයේ පරිපාලන අධ්‍යක්ෂ තනතුරට මාරු කර යවමින් බව ද එම ආරංචි මාර්ග පෙන්වා දෙයි.
සංජීව බණ්ඩාර යනු පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් දැනුවත් කරමින් එවකට නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක විසින් යොමු කර තිබු අනතුරු ඇඟවීම ඇතුලු ඊට සම්බන්ධ ලේඛනවලට ප්‍රහාරය වනතුරු අත තබා නොතිබුණ බව පාස්කු විමර්ශන කොමිසමේ දී හෙළිවූ නිලධාරියෙකි.
එමෙන්ම සිද්ධියේ වගකීමෙන් ගැලවීම සඳහා ඔහු පොලිස් ලොග් සටහන් වෙනස් කිරීමට මැදිහත් වුන ආකාරය ද කොමිසමේ දි අනාවරණය විය.
මේ ගැන කොමිෂන් සභාව විසින් ප්‍රශ්න කරද්දී ඔහු කොමිසමට බොරු සාක්ෂි දෙන්නට ගොස් අසුවුනේය. දිවුරුමක් ලබා දී ප්‍රකාශ ලබාදිමේදීත් අසත්‍ය ප්‍රකාශ සිදු කරන්නේ නම් අධිකරණයට අපහාස කිරිමේ වරද යටතේ දඩුවම් පැනවීමට කටයුතු කරන බව කොමිසමේ සභාපති විනිසුරුවරයා කොමිෂන් සභාව තුළ දී ඔහුට අවවාද කළේය.
මෙම නිලධාරියා පාස්කු ප්‍රහාරය සම්බන්ධව ස්වකීය ගර්හිත හැසිරීම හේතුවෙන් වැඩ තහනමට ලක්වූවා පමණක් නොව, සිය තනතුර ද පහළ හෙළා සිටි නිලධාරියෙක් බව පොලිසිය පවසයි.







