පසුගිය 30 රාත්රී කහවත්ත පලන්සුරියගම හල්ලිද නිවසක සිටි 22 හැවිරිදි තරුණයෙක් සහ ඔහුගේ මිතුරෙක් අත් විලංගු දමා පැහැර ගෙන ගොස් ඇන්දාන කහවත්ත මාර්ගයේ උඩහවුපේ දළුග්ගල ප්රදේශයේ දී ඔවුන්ව දණ ගස්සා වෙඩි තබා එක් තරුණයෙක් ඝාතනය කර අනෙක් තරුණයාට බරපතල තුවාල සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව අත් අඩංගුවට ගත් සැකකරුවන් 4 දෙනාගෙන් දෙදෙනෙක් ලබන 28 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට පැල්මඩුල්ල අධිකරණය අද (17) නියෝග කළේය.
අත් අඩංගුවට ගත් සැකකරුවන් සිවු දෙනාගෙන් දෙදෙනෙක් සතියක් රඳවාගෙන ප්රශ්න කිරීමට හෝමාගම අධිකරණය ඊයේ නියෝග කළ අතර අනෙක් සැකකරුවන් දෙදෙනා අද දින පැල්මඩුල්ල අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස ද නියෝග කරනු ලැබුවේය.
අදාළ සිද්ධියට ආධාර අනුබල දුන් සැකකරුවන් 4 දෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබූ අතර තරුණයින් පැහැර ගැනීම සඳහා යොදා ගත් ජීප් රථයද සොයාගත් බව බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය පැවසුවේය.
පොලිස් වෙසින් පැමිණ අත් විලංගු ලා පැහැරගෙන ගොස් මරා දමා තිබුනේ කහවත්ත පලන්සූරියගම පදිංචි දේශාන් ඉරන්ත නැමැති තරුණයෙකි. දැනට ඩුබායි රාජ්යයේ සැඟවී සිටින තනුජ සම්පත් නොහොත් හෝමාගම හඳයාගේ මත් කුඩු ජාවාරමට එරෙහිව නැගී සිටි තරුණයින් කණ්ඩායමක් අතර කැපී පෙනෙන චරිතයක් වූ දේශාන් ඉරන්ත ඝාතනය කරන්නේ හෝමාගම හඳයා නැමැති පාතාල අපරාධකරු බව මුලික විමර්ශනවලදී හෙළි වී ඇත.
ඊයේ අත් අඩංගුවට ගත් සිවු දෙනා රැකියාවක් නොකර හඳයාගේ මත්ද්රව්ය ජවාරමට උදව් දෙන අවුරුදු 27-29 අතර පසුවන්නන් බව පොලිසිය පවසයි. තරුණයා පැහැරගෙන ගිය ජිප් රථය ද සඟවා තිබිය දී විමර්ශන අංශ අත් අඩංගුවට පත් වී තිබේ.
බස්නාහිර පළාත් උතුරු අපරාධ කොට්ඨාසය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.







