ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමඟ හෙට (08) පැවැත්වීමට නියමිතව පැවති සාකච්ඡාවට සහභාගී නොවීමට ජනතා විමුක්ති පෙරමුණ තීරණය කර තිබේ.
සර්ව පාක්ෂික ආණ්ඩු වැඩපිළිවෙළ පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා මෙම රැස්වීම පැවැත්වීමට නියමිතව තිබුණි.
ඒ වෙනුවට එම පක්ෂය ජනාධිපතිවරයා වෙත ලිඛිත යෝජනාවලියක් ඉදිරිපත් කරන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පැවසීය.
හෙට (09) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ පැවැත්වෙන සාකච්ඡාවට සහභාගි වන බව ජනතා විමුක්ති පෙරමුණ ඊයේ (08) ප්‍රකාශ කළේය.
ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති අද දහවල් වනවිටත් ප්‍රකාශ කළේ ජාතික ජන බලවේගය මෙම සර්ව පාක්ෂික අණ්ඩුවට සහභාගී නොවුනත් ජනපතිවරයා හමුවී ස්වකීය ස්ථාවරය ප්‍රකාශ කරන බවය.
ඔහු කීවේ මෙසේය.
ජනාධිපතිවරයා අනෙකුත් පක්ෂ හමුවන පදනමින් අපිට ආරාධනා කර තිබෙනවා. අපි සාකච්ඡාවට සහභාගි වෙනවා. එහිදී සර්වපාක්ෂික ආණ්ඩු පිළිබඳ අපි මෙයට පෙර මාධ්‍යවලටත් කියා තිබෙන අපේ ස්ථාවරය පැහැදිලි කරනවා.
දැනටමත් රනිල් වික්‍රමසිංහ පොහොට්ටුව එක්ක එකතු වී ආණ්ඩුවක් හදලා තිබෙන්නේ. ඊට පස්සේ සර්වපාක්ෂික ආණ්ඩුවලට කතා කරලා වැඩක් නැහැ. රනිල් වික්‍රමසිංහ, රනිල් රාජජපක්ෂ වුණාට පස්සේ එයාගේ සර්වපාක්ෂික කතා ඉවර වෙලා තිබෙන්නේ. අන්තර්කාලීන පාලනයකින් පසුව මැතිවරණයක් පවත්වන්න යන ආණ්ඩුවක් නොවෙයි මේ තිබෙන්නේ. එක පැත්තකින් රනිල් වික්‍රමසිංහගේ බලයත්, තහවුරු කරගෙන ණය ගන්න පුළුවන් ජාත්‍යන්තර පිළිගැනීමක් ලබාගන්නයි මේ උත්සාහ කරන්නේ. ජනවරමක් සඳහා ඉඩ හදන තාවකාලික ආණ්ඩුවක් පිහිටුවන්න යනවා නොවෙයි. “
“සර්වපාක්ෂික අටමගලයට අපි සහභාගි වෙන්නේ නැහැ. සහභාගි වෙන්නේ නැති බව කියන්න, ජනාධිපති ඉස්සරහට යන්න අපිට පුළුවන්.“
කෙසේ වෙතත් මේ වනවිට එම ස්ථාවරයත් වෙනස් වී හෙට දින ජනාධිපතිවරයා හමුවීමට නොයෑම සඳහා ජාතික ජන බලවේගය තීරණය කර තිබේ.