ලලිත් චාමින්ද
ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව හා පුද්ගලික ආයතන වෙනුවෙන් ඖෂධ වර්ග 67ක් හා වෛද්‍ය උපකරණ 140ක් සදහා ලියාපදිංචියෙන් නිදහස් කිරීමේ ලිපි 2021 වර්ෂය තුළදි නිකුත්කොට තිබූ බව ජාතික විගණන කාර්යාලය පවසයි.
ජීවිතයක් බේරාගැනීමට, බෝවන රෝග හෝ වසංගත රෝගයක් පැතිරීම වැළැක්වීමට ජාතික අවශ්‍යතාවයක් හා ජාතික ආරක්ෂාව වැනි විශේෂිත අවස්ථාවලදි පමණක් ලියාපදිංචියෙන් නිදහස් කිරිමේ ලිපි නිකුත් කිරිමට අධිකාරිය වෙත බලය ලැබි තිබුණි. එහෙත් එවැනි තත්ත්වයක් යටතට නොවැටෙන ලියාපදිංචිය අවලංගුවීම, ලියාපදිංචි සැපයුම්කරුවන් නොසිටීම, වැනි හේතු මත මෙකී ඖෂධ හා වෛද්‍ය උපකරණ වෙනුවෙන් ලියාපදිංචියෙන් නිදහස් කිරීමේ ලිපි නිකුත්කොට තිබූ බවද විගණනය මඟින් අනාවරණය කොට ඇත.
කෙසේ වුවද ඖෂධ නියාමන අධිකාරිය විසින් විගණනයට සඳහන්කොට ඇත්තේ මෙකී නිරීක්ෂණ සමග එකඟ නොවන බවය. රාජ්‍ය හා පුද්ගලික අංශයේ ඖෂධ හිඟ වීම, නිසා රට තුළ ඖෂධ සම්බන්දයෙන් අර්බුදකාරි තත්වයක් නිර්මාණය වීම, වැනි විශේෂ අවස්ථාවලදී සෞඛ්‍ය අමාත්‍යංශයේ අනුමැතිය මත පනතේ 109 වැනි වගන්තිය ප්‍රකාරව කටයුතු කර ඇති බවය. ලියාපදිංචිය අවලංගු වීම, ලියාපදිංචි සැපයුම්කරුවන් නොසිටීම, ඖෂධ ආනයනය නොකිරීම, ලියාපදිංචිය ලබා ගැනීමේ ප්‍රවණතාව අඩු වීම වැනි කරුණු හේතුවෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ අනුමැතිය මත පනතේ 109 වැනි වගන්තිය ප්‍රකාරව කටයුතු කළ හැකි බවද අධිකාරියේ කළමණාකාරිත්වය විසින් විගණනයට සදහන් කොට ඇත. පනතේ සඳහන් විශේෂ අවස්ථාවලදී පමණක් ලියාපදිංචියෙන් නිදහස් කිරීමේ ලිපි නිකුත් කිරීමට කටයුතු කිරීම තුළින් තත්ත්වය පිළිබඳ සහතිකයක් නොමැති ඖෂධ රට තුළට ඇතුළුවීම අවම කර ගත හැකි බවය.







