ඩුබායිහි විදේශ රැකියා සඳහා කාන්තාවන් පිටත් කර යවා, නීති විරෝධී ලෙස එම කාන්තාවන් ඕමාන් බලා රැගෙන ගොස් ගණිකා වෘත්තියේ යෙදවීමට සම්බන්ධ පුද්ගලයෙක් අද (19) උදෑසන කටුනායක ගුවන්තොටුපොලේදී අත්අඩංගුවට ගෙන තිබේ.
ඕමාන්හි රැකියා සඳහා නීත්‍යානුකූල නොවන ආකාරයට, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ පනත උල්ලංඝනය කරමින් කාන්තාවන් රැගෙන ගිය මෙම පුද්ගලයා අත්අඩංගුවට ගැනීම සඳහා විදේශ ගමන් තහනමක් ලබාගැනීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය කටයුතු කර තිබුණි.
ඒ අනුව අද (19) උදෑසන අබුඩාබි සිට ලංකාවට පැමිණෙන විට කටුනායක ගුවන්තොටුපොලේදී මොහු අත්අඩංගුවට ගෙන කටුනාය පොලීසියට භාරදී තිබේ.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ හතලිස් හතර හැවිරිදි පුද්ගලයෙකි.
කටුනායක පොලීසියෙන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විමර්ශන නිලධාරීන් සැකකරු භාරගැනීමට නියමිත අතර අධිකරණයට ඉදිරිපත් කිරීමටද නියමිතය.
මෙම පුද්ගලයා හරහා ලංකාවට ලැබෙන රැකියා ඇබෑර්තුවලින් කාන්තාවන් ඩුබායිහි රැකියා සඳහා යොමු කර තිබේ.
එතැන් සිට විදේශ සේවා නියුක්ති කාර්යාංශ පනත උල්ලංඝනය වන ආකාරයට කාන්තාවන් ඕමානය බලා රැගෙන ගොස් ඇති බව මේ වන විට පැවැත්වූ විමර්ශනවලින් අනාවරණය වී ඇත.
මෙම පුද්ගලයාට එරෙහිව මිනිස් වෙළෙඳාම සම්බන්ධයෙන් වන චෝදනා ගොනු කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවද තවත් පරීක්ෂණයක් ක්‍රියාත්මක කරමින් සිටී.







