ඕමානයට ගිය ශ්‍රි ලාංකික කාන්තාවන් වහල් සේවයට විකිණීම, ගණිකා වෘත්තියේ යෙදවීම් සහ ලිංගික අතවර කිරීම්වලට සම්බන්ධ බවට චෝදනා කර වැඩ තහනම් කළ බව කියන ඕමාන ශ්‍රි ලංකා තානපති කාර්යාලයට සම්බන්ධව තුන් වැනි ලේකම්වරයෙක් ලෙස සේවය කරන විදේශ සේවා නියුක්ති කාර්යාංශ නිලධාරියා තවදුරටත් තානාපති කාර්යාලයේ රාජකාරීවල යෙදෙන බව ආරංචි මාර්ග සඳහන් කරයි.
එදිරිආරච්චිගේ කුෂාන් නැමැති මෙම නිලධාරියා ඊයේ (18) දිනයේදි වැඩ තහනම් කර ඇති බව සඳහන් වුවද ඊට අදාල ලිපි ලේඛන තවමත් අදාළ බලදාරීන් වෙත නොයාම ඊට හේතු විය හැකි බවද එම ආරංචි මාර්ග තවදුරටත්සඳහන් කළේ.
කෙසේ වුවද මෙම නිලධාරියා මෙරටට ගෙන්වා ඉදිරි විමර්ශන කටයුතු සිදු කිරීමට බලාපොරොත්තු වන බව ආරංචි මාර්ග සඳහන් කරයි. ඔහු ගෙන්වා ගැනීම සඳහා රජයේ මුදල් වැය නොකරන බවත් ඔහු සිය පුද්ගලික වියදමින් පැමිණිය යුතු බවත් විදේශ අමාත්‍යාංශය දන්වා තිබේ.
සංචාරක වීසා මත ගෘහ සේවය සඳහා බව පවසමින් ශ්‍රි ලංකාවෙන් ඕමානය බලා යවා ඇති කාන්තාවන් සම්බන්ධයෙන් සිදුවන අපරාධ විමර්ශෂනයේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයකු ඇතුළු විමර්ශන කණ්ඩායම අනාවරණය කර ගත් කරුණු සහ කාන්තාවන් වෙතින් ලද විවිධ පැමිණිලි මත මෙම නිලධාරියාගේ ගේ වැඩ තහනම් කර ඇති බව සඳහන් වේ.
එලෙස ඕමානයට ගිය කාන්තාවන් 45 දෙනකුකේ මේ වනවිට තමන් වහල් සේවයේ යෙදවීම සහ ගණිකා වෘත්තියේ යෙදවීමට සම්බන්ධයෙන් මෙම නිලධාරියාට චෝදනා එල්ල කර ඇති බව වාර්තා වී ඇත.
අපරාධ විමර්ශන දෙපාර්තමේන්තු නිලධාරීන් මෙම කාන්තාවන් සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනවල දී ආවරණය කර ගත් කරුණු මාධ්‍ය හරහා ප්‍රචාරය වීමෙන් පසුව පවා ඕමාන තානාපති කාර්යාලයේ සුරක්ෂා නිවහනේ දැනට රැඳී සිටින කාන්තාවන් තවදුරටත් විවිධ හිංසනයන්ට සහ පීඩාවට ලක් වන බවට අනාවරණය වී ඇත.
සංචාරක වීසා මත එරටට යවා ඇති කාන්තාවන් 45 දෙනා අතරින් 43 දෙනකු තවමත් මෙරටට ගෙන්වා ගැනීමට අදාළ පියවර තානාපති කාර්යාලය මඟින් ගෙන නොමැති බව සඳහන් වේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් අනාවරණය කර ඇත්තේ කාන්තාවන් ලිංගික සේවය සහා විකිණීම ඇතුළු මිනිස් ජාවාරමට විදේශ සේවා නියුක්ති කාර්යාංශ සේවයකයන් කිහි දෙනකු මෙන්ම ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන්ද සම්බන්ධ බවට තොරතුරු අනාවරණය වී ඇති බවයි.
මේ අතරින් ඕමානයේ ශ්‍රි ලංකා තානාපති කාර්යාලයේ සේවය කරන කුෂාන් නැමති නිලධාරියා පිළිබඳව පැමිණිලි ගණනාවක් ලැබී ඇති අතර කාන්තාවන් රුපියල් ලක්ෂ 10ත් 25ත් අතර මිලකට අලෙවි කිරීම සඳහා මෙන්ම කාන්තාවන්ට ලිංගික අතවර සහ ලිංගික බලපෑම් කිරීමට ද මෙම කුෂාන් නැමති නිලධාරියා තදින්ම සම්බන්ධ බවට අනාවරණය වී ඇත.







