කීර්ති ප්‍රනාන්දු
මෙරට ප්‍රථම වරට රෝහලක් තුළ ආරම්භ කරන ලද මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කිරීමේ ඒකකය “බලාපොරොත්තුවෙ නිවහන” නමින් මිනුවන්ගොඩ රජයේ මූලික රෝහලේදී විවෘත කෙරිණ.

බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය ධම්මිකා ජයලත් ගේ ප්‍රධානත්වයෙන් මෙම ඒකකය ඊයේ (18) විවෘත වූයේය. සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ ආරම්භ කරන ලද මෙම ඒකකය තුළ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන් 20 දෙනෙකු හට නේවාසික ප්‍රතිකාර සහ පුනරුත්ථාපන කිරීමට පහසුකම් සලසා ඇත
මෙම පුනරුත්ථාපන ඒකකය අතිදක්ෂ විශේෂඥ මානසික වෛද්‍යවරුන් තිදෙනකු ඇතුළු විශේෂ වෛද්‍යවරුන් කණ්ඩායමක් හෙද හෙදියන් ඇතුළු කාර්ය මණ්ඩලයකින් සමන්විත වේ .
මෙම ඒකකය විවෘත කිරීමේ උත්සවය ඉතා චාම් අයුරින් පැවති අතර ප්‍රථම පුනරුත්ථාපන රෝගියා නිල වශයෙන් ලියාපදිංචි කිරීම බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය ධම්මිකා ජයලත් අතින් සිදුකළේය .

එහිදී අදහස් දැක්වූ බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය ධම්මිකා ජයලත් මෙසේ කීවාය.
“මෙම බලාපොරොත්තුවේ නිවහන යථාර්ථයක් කරන්න අපි සැවොම එක්ව කටයුතු කළ යුතුයි . මෙම ඒකකය මුළු රටටම සේවයක් සිදු කළ යුතු ස්ථානයක්. මෙහි සිදුකරන සේවාවන් විශාල අභියෝගයක්. එය අපි එක්ව ජයගමු යැයි කීය .
නව පුනරුත්ථාපන ඒකකය භාර වෛද්‍ය චමිල් සෙනෙවිරත්නය.
“අද වෙනකොට අපේ දරුවන් විශාල ලෙස මත් රකුසාට ඇබ්බැහි වෙලා තියෙනවා. අපි එදා බැලුවේ මත් රකුසාට බිලි වූ රෝගීන් එක්කෙනයි. දෙන්නයි. නමුත් දැන් වෙනකොට එම පිරිස දහදොළොස් ගුණයකින් වැඩි වෙලා බව පේනවා. මේ වෙනකොට වයස අවුරුදු 14, 15 ,16, වයස්වල පාසල් දරුවන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වෙලා කියලා අපි දකිනවා.
මොන හේතුවක් නිසාද දන්නේ නැහැ අපේ රටේ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වන ප්‍රමාණය පාලනය කරගන්න අසමත් වෙලා තියෙනවා. එහෙම වෙන්නේ මත්ද්‍රව්‍ය වලින් යැපෙන පිරිස් වැඩි නිසාදෝ කියලත් එක වෙලාවකට හිතෙනවා. දුම්වැටියක්, මත්පැන් බෝතලයක් ගන්න දරුවෙකුට වයස අවුරුදු දහ අටක් වෙනකම් ඉන්න ඕන .
එහෙම නැතුව ළමයින්ට ඒවා මිලදී ගන්න බැහැ. හැබැයි මත්ද්‍රව්‍ය එහෙම නෙමෙයි. නිවසේ ගේට්ටුවෙන් එළියට ගිය ගමන් මත්ද්‍රව්‍ය මිලදී ගන්න පුළුවන් වෙලා තියෙනවා. දුරකථන ඇමතුමකින් කෙටි පණිවිඩයක් මගින් මත්ද්‍රව්‍ය ගෙදරටම ගෙනැවිත් දෙන තත්ත්වයකට මත් රකුසා අදවනවිට දරුවන්ව ගිලගනිමින් තියනවා.

“අද අපි මේ තියෙන්නෙ යෝධ පියවරක්. අපි මොඩලයක් හදලා ලංකාවට පෙන්නන්න යනවා වෛද්‍යවරුන් හැටියට අපිට පුළුවන් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන්ට ප්‍රතිකාර වලට අමතරව පුනරුත්ථාපනය කරලා ඔවුන්ව එයින් මුදවා ගන්නට කියන පණිවිඩය.“
මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ මානසික සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක රොහාන් රත්නායක, ගම්පහ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ඉන්දික වන්නිනායක, මිනුවන්ගොඩ රජයේ මූලික රෝහලේ වෛද්‍ය අධිකාරී ජයන්ත අභයරත්න, ගම්පහ දිස්ත්‍රික්කයේ මානසික සෞඛ්‍ය කටයුතු භාර වෛද්‍ය සමිත විජයරත්න, නව පුනරුත්ථාපන ඒකකයේ විශේෂඥ වෛද්‍යවරුන්, හෙද හෙදියන් සහ කාර්ය මණ්ඩලය සාමාජිකයින්, මිනුවන්ගොඩ නගර සභාවේ සභාපති නිල් ජයසේකර ඇතුළු ආරාධිතයින් මෙම නව පුනරුත්ථාපන ඒකකය විවෘත කිරීමේ අවස්ථාවට එක්වී සිටියහ.
.







