ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නගරයේ ගොඩනැගිලිවලට හානි සිදුකරමින් පසුගිය 22 වැනිදා රික්ටර් මාපක 5.8ක ප්‍රබලත්වයකින් යුතු භූ කම්පනයක් ඇති වුණේය. ඒ එරට වෙලාවෙන් උදෑසන 9.15ට ය. මේ භූ කම්පනය අපි කලක සිට ආදරය කරන ආදරණීය කලාකරුවෙකුටත් දැනුනේය. ලංකාව අත්හැර ඔස්ට්‍රේලියාවේ පදිංචියට ගොස් සිටින ඔහු ජනාදරයට පත් වේදිකා, සිනමා හා ටෙලි නාට්‍ය නළු ශ්‍රීනාත් මද්දුමගේය.
කාලෙකට පසු ඔහු සමග කතා කරන්නට නිමිති වූයේ කලාව සම්බනධ ප්‍රස්තුතයක් නොවේ. භූමි කම්පාවක් ගැනය. ශ්‍රීනාත් සමග භූමි කම්පාවක් ගැන කතා කළත් මිහිරිය. ඔහු ඒ අත්දැකීම අපට විස්තර කළේ මෙසේය.

“මම එදා උදේ මම රැකියාව කරන “පීටර් මැක්” පිළිකා රෝහල වෙත පැමිණ සිටියා. මගේ බිරිඳ මට දුරකතන ඇමතුමක් ලබා දීලා භූමිකම්පාවක් වෙනවා, ගෙයි බඩු මුට්ටු, මගේ පොත් රාක්කෙ පොත් බොහෝ ප්‍රමාණයක් බිමට වැටුනා කියලා කිව්වා. මම වැඩ ඇරිලා ගෙදර ඇවිත් භූමිකම්පාවෙන් වැඩි බලපෑමක් සිදු වූ ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නගරයේ චැපල් ලේන් එක ළඟට ගිහින් බැලුවා. චැපල් ලේන් එකේ දෙපැත්තේ ගොඩනැඟිලිවල කොටස් පාර දෙපැත්තේ වැටිලා තිබුණා.
ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ මෙල්බර්න් ප්‍රදේශය මූලික කරගෙන මේ තරම් ප්‍රබලත්වයකින් යුත් භූමිකම්පාවක් සිදු වූ දෙවැනි අවස්ථාව මෙයයි. භූමිකම්පාවෙන් රටේ දෙවන විශාලතම නගරයේ ගොඩනැගිලිවලට යම් හානියක් සිද්ධ වුණා. නමුත් කොවිඩ් වසංගතයට රට ලොක්ඩවුන් කරලා තියෙන නිසා සිදු වූ මිනිස් හා දේපළ හානිය ඉතා ම අඩුයි. චැපල් ලේන් එක සාමාන්‍ය දවස්වලට වාහන හා ජනතාවගෙන් පිරිලා තියෙනවා. නමුත් මේ භූමිකම්පාව සිදු වන වෙලාවේ සෙනග ඉඳලා නැත්තේ ලොක්ඩවුන් එක නිසයි.

අසල්වැසි ප්රාන්තවලටත් මේ කම්පනය දැනිලා තිබුණා. භූමිකම්පාවේ කේන්ද්‍රස්ථානය මෙල්බන් නගරයට ඊසාන දෙසින් කිලෝ මීටර් දෙසීයක් ඈතින් පිහිටි වික්ටෝරියා ප්‍රාන්තයේ “මෙන්ස්ෆිල්ඩ්” (Mansfild) නමැති ග්‍රාමීය නගර ප්‍රදේශය යි. බටහිර දෙසින් කිලෝ මීටර් 800ක් ඈතින් පිහිටි ඇඩිලේඩ් නගරයටත්, කිලෝමීටර් 900ක් ඈතින් පිහිටි නිව් සවුත් වේල්ස් නගරයටත් මෙම භූමිකම්පනය දැනිලා තිබුණා. අපි ජීවත් වෙන්නේ මෙල්බන් නගරයේ ඉඳලා කිලෝමීටර් තිස් හයක් විතර දුරින් පිහිටි ‘එපින්’ කියන ප්‍රදේශයේ යි. අපි ජීවත්වන ප්‍රදේශයටත් මේ භූමිකම්පාව සාමාන්‍ය ලෙස දැනිලා තිබුණා. මෙල්බන් නගරයේ වගේ ම එයින් පිටත දැඩි හානි කිසිවක් වගේම තුවාලකරුවන් ගැනත් වාර්තා වෙලා තිබුණෙ නැහැ. අපි මෙල්බන්වලට ඇවිල්ලා වසර දාසයක් වෙනවා. ඒත් මෙහෙම අත්දැකීමකට මුහුණ දුන්නේ පලවෙනි වතාවට යි.
ඔස්ට්‍රේලියාවේ වෙසෙන මිලියන 25ක ජනගහනයෙන් හරි අඩකට (7759274) වැඩි ප්‍රමාණයක් ජීවත් වන්නේ ඇඩිලේඩ් සිට, මෙල්බන් සහ සිඩ්නි දක්වා වන රටේ ගිණිකොන මායිමේ යි. එම ප්‍රදේශය ඔස්ට්‍රේලියාව- ඉන්දු ඕස්ට්‍රේලියා ටොනික් භූකම්පන තලය මැද පිහිටලා තියෙනවා. මේ නිසා මෙම කලාපයට භූමිකම්පාව අසාමාන්‍ය කාරණාවක් නෙවෙයි.

මීට පෙර මෙම ප්‍රදේශය ආශ්රිත ව භූමිකම්පාවක් සිදුවී තිබෙන්නේ 1989 දී නිව් කාසල් ප්‍රදේශය ආශ්‍රිතව යි. එහි ප්‍රබලත්වය රික්ටර් මාපක 5.6 හැටියට සටහන් වෙලා තියෙනවා. එදා දහතුන් දෙනෙක් ජීවිතක්ෂයට පත් වෙලා තියෙනවා.”







