ශ්‍රීමතී විජේරත්න
නියෝජ්‍ය විදුහල්පති – කු/නාලන්දෝදය ජාතික පාසල. –
උසස් පෙළ විභාග ප්‍රතිඵල නිකුත් වී අවසන්ය. එහි උණුසුම ද පහව යමින් තිබේ. මෙය අනුයාතව සෑම වසරකම සිදුවන්නකි.
එහෙත් අපි දැවැන්ත අධ්‍යාපන ඛේදවාචයක් අත් විඳිමු. උසස් පෙළ විභාගයට පෙනී සිටීමට සැරසෙන දරුවන් පාසැල් අධ්‍යාපනයෙන් දුරස්වන ස්වභාවයක් පාසල් සමාජය තුළ නිර්මාණය වෙමින් ඇත.ආර්ථික දේශපාලනික හා සාමාජීය ප්‍රශ්න රැසක් තුළ දරුවා පාසලෙන් ගිලිහෙමින් සිටින බව ගුරුවරියක මෙන්ම පාසල් කළමනාකරණ වගකීම් දරන මා සතු පුද්ගලික අත් දැකීම ය. දරුවන් උසස් පෙළ විභාගයට පෙනී සිටින්නේ පාසල් දෙවන තැනෙක තබා ගෙනය. මහා ආකර්ශනශීලී ටියුෂන් වාණිජ ව්‍යාපාර රැල්ලේ පහසු ගොදුරු බවට දරුවන් පත්වන ආකාරයත් ඒ ව්‍යාපාරය තුළ ඔවුන්ගේ සිහින දියවී යන ආකාරයත් අත් දකිමු. මෙම ටියුෂන් ව්‍යාපාරිකයින් මුලින්ම සිදුකරන්නේ පාසල සහ දරුවා අතර ඇති ආකල්පමය බැඳීම විතැන් කිරීමය.
මේ විෂම චක්‍රයේ ප්‍රතිඵලයත් ප්‍රකාශිත ය. දරුවන් 27970ක් විෂයයන් තුනම අසමත් වීම සුළුපටු කාරණයක් නොවේ.මේ අසමත් වන්නේ සාමාන්‍ය පෙළ විභාගය සමත් කළ දරුවන්ය. එය එක් අතකට ඛේදවාචකයක.
“දරුවන් දොළහ ශ්‍රේණියෙන් පසු පාසල් වලට පැමිණීමේ අඩුවක් දක්නට ලැබෙනවා. සතියේ දිනවල පවත්වන ටියුෂන් පන්ති වලට සහභාගි වීම අරමුණු කරගෙන ඔවුන් පාසල මගහරිනවා. එය සිදු නොවිය යුත්තක්. පාසලේ ගුරුවරු ඇසුරෙන් ගිලිහෙන තරුණ වයසේ දරුවන් හැම අතින්ම අනාරක්ෂිත බව දෙමව්පියන් වටහා ගන්නේ නැහැ. දරුවන් පෝෂණය විය යුත්තේ දැනුමෙන් විතරක් නෙමෙයි.. අත හිස සහ හදවත සහිත දරුවන් නිර්මාණය කිරීමයි පාසලේ අරමුණ. එවැනි අරමුණු රැසක් මගහැර හිස පමණක් පෝෂණය වීම අනාගත ව්‍යසනයන් රැසකට මඟ පෙන්වනව.”
යනුවෙන් කුරුණෑගල ප්‍රධාන පෙළේ පාසලක උසස්පෙළ ඉගෙනුම් ඉගැන්වීම් කටයුතුවල නිරත වන ගුරුවරයෙක් අදහස් දැක්වූයේය.
“දහතුන ශ්‍රේණියේ දරුවන් පාසලට ගෙන්වා ගන්න අපි විවිධ උපක්‍රම යොදනවා . කොහේ හෝ තැනක ලොකු වරදක් සිදුවෙමින් පවතින බව ගුරුවරු විදිහට අපට දැනෙමින් පවතිනවා. අපි සැදී පැහැදී ඉන්නේ දරුවන්ට උගන්වන්න. සිලබස් ඉවර කරලා දරුවන් හොඳ සූදානමකින් විභාගය යට යවන්න. ඔවුන් අපිව මගහරින්නේ අපි ගැන විශ්වාසයක් නැති නිසාම නෙමෙයි. ඔවුන්ට අපව විශ්වාසයි. එහෙත් ඔවුන් කිසියම් බලවේගයක් මඟින් එක්තරා ෆැන්ටසියක අතරමං කරවන බවක් අපට හැඟෙනවා.” තවත් පාසල උසස්පෙල ගුරුවරුයෙක් පැවසුවේය .
සමහරවිට ඔබ නොදන්නවා ඇත. මෙවර උසස් පෙළ විභාගයෙන් දිවයිනේ මුල් ස්ථාන ලබා ගත් දරුවන් සියලු දෙනාම විභාගයට පෙනී සිටින තුරුම පාසල හා ගනුදෙනු කළ උපකාරක පන්ති උපකාරක පන්ති අර්ථයෙන්ම ඇසුරු කළ දරුවන්ය.
“මම උගන්වන්නේ කුරුණෑගල දුෂ්කර පාසලක. සාමාන්‍ය පෙළ විභාගයෙන් හොඳ ප්‍රතිඵල ගන්න දරුවන් නගරයේ පාසල් වලට යනවා .අපේ පාසලේ ඉතුරු වෙන්නේ සමාන්‍ය පෙළ අඩු ප්‍රතිඵල ලබන දරුවන්. උසස් පෙළ පන්තිවල ළමයි විශාල සංඛ්‍යාවක් නැහැ. ඉන්නෙ දහ පාලොස් දෙනයි. අපි හිතාම හොඳින් දරුවන් රැකගෙන ඔවුන් තුළ විශ්වාසය තහවුරු කරමින් ඉගැන්වීම් කටයුතුවල නිරත වෙනවා. ”
“ඔවුන් අන්තිම මොහොත වන තුරුම අපව අත්හැරියේ නැහැ. ටියුෂන් පස්සේ දිව්වෙත් නැහැ. මෙවර අපේ පාසලේ ප්‍රතිඵලය සියයට සීයයි…ඒ තනිකරම පාසලේ ගුරුවරුන්ගේ සහ දරුවන්ගේ කැපවීම සහ උත්සාහය. ඉතින් ටියුෂන් නැතුව උසස් පෙළ සමත් වෙන්න බැහැ කියන්නේ බොරුවක් බව අපි ප්‍රායෝගිකව පෙන්නුවා..” ගුරුවරියක කීවාය. ඇයගේ දෙනෙත් දීප්තිමත්ව තිබිණි.
ගුරුවරයෙක් පාසල තුළ කරන්නේ විෂය ඉගැන්වීමම පමණක් නොවේ. ජීවත්වීමට අවශ්‍ය දැනුම පිළිබඳ හැකියාව, සහජයෙන් හිමිවන විභව්‍යතාව පිළිබඳ හැකියාව, මනා ගතිගුණ සාරධර්ම ආශ්‍රයෙන් ජනිත වන මනුෂ්‍යත්වයෙන් ජීවත්වීමේ හැකියාව යන මේ අංශ තුනෙන්ම දරුවෙකු පෝෂණය. කිරීමයි.
පාසල තුළ පූර්ණ විෂය මාලාව ක්‍රියාත්මක වන්නේ මේ කාරණා සාක්ෂාත් වන අයුරිනි. දැල්වූ පහනකින් තවත් පහනක් දැල්වෙනවා මිස, නිවුණු පහනකින් කිසිදාක තවත් පහනක් දැල්විය නොහැකිය.
දරුවන්ට මේ සත්‍ය වටහා දිය යුතුය









