දිනසේන රතුගමගේ
ජනාධිපතිවරයාගේ ඉන්දීය සංචාරයට පෙර උතුරේ දෙමළ දේශපාලන පක්ෂ කීපයක නියෝජිතයන් 18 දා සවස ජනාධිපතිවරයා හමු වී සාකච්ඡා කරණ බවට දෙමළ ජාතික සන්ධානය නිවේදනයක් නිකුත් කොට තිබේ.
එම සාකච්ඡාව පස්වරු 3 ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වෙන බවත් එහිදී උතුරු නැගෙනහිර පළාත්වලට බලය බෙදාහැරීම සම්බන්ධයෙන් ඉතා දීර්ග වශයෙන් කරුණු සාකච්ඡා කෙරෙන බව එම නිවේදනයේ සඳහන් වෙයි.
ඊට අමතරව උතුරේ වැසියන්ගේ ඉඩම් බලහත්කාරයෙන් අත්පත් කර ගැනීම සම්බන්ධයෙන්ද දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කර ගැනීම සම්බන්ධයෙන්ද මෙහිදී කරුණු සාකච්ඡා කෙරෙන බවද දෙමළ ජාතික සන්ධානය ප්‍රකාශ කරයි.
ජනාධිපතිවරයා ඉන්දීය සංචාරයක නිරතව වන බැවින් ඉන්දීය ධීවර ප්‍රශ්නය හා ඉන්දීය ව්‍යාපෘති නිසා උතුරේ ගොවීන් හා ධීවරයන් මුහුණ දී ඇති ගැටළු පිළිබදවද සාකච්ඡා කිරීමට දෙමළ දේශපාලන පක්ෂ නියෝජිතයෝ බලාපොරොත්තු වෙති.
ජනාධිපතිවරයා හා දෙමළ දේශපාලන පක්ෂ නියෝජිතයන් අතර මීට පෙර පැවති සාකච්ඡාවලදී ගන්නා ලද තීරණ හා එකගවීම්වල වර්තමාන තත්ත්වය හා ඒ කරුණුවල ප්‍රගතිය සම්බන්ධයෙන්ද ජනාධිපතිවරයා සමග දෙමළ දේශපාලන පක්ෂ නියෝජිතයෝ සාකච්ඡා කිරීමට අපේක්ෂා කරණ බවද දෙමළ ජාතික සන්ධානය ප්‍රකාශ කරයි.







