සාගර් බන්ධු මෙහෙයුම යටතේ මෙරටට පැමිණි ඉන්දීය වෛද්‍ය කණ්ඩායම ශ්‍රී ලංකාවේ සිය මානුෂීය මෙහෙයුම අවසන් කර පසුගිය දා (14) යළි ඉන්දියාවට පිටත්ව ගිය අතර, විපතට පත් ප්‍රජාවට සහාය වීමේදී එම කණ්ඩායම දැක් වූ කැපවීම සහ වෘත්තිමය දායකත්වය එහිදී ඇගයීමට ලක් කෙරිණ. මෙම කණ්ඩායමේ නික්ම යාමට සමගාමීව විපතට පත් ප්‍රජාවට සහන සැලසීම සඳහා ද්‍රව්‍යාධාර තොගයක් පරිත්‍යාග කිරීමද සිදු විය.
මෙම වෛද්‍ය කණ්ඩායම ඉන්දියාව කරා රැගෙන යාමට පැමිණි ඉන්දීය ගුවන් හමුදාවට අයත් C-17 Globemaster ගුවන් යානයෙන් මෙම ද්‍රව්‍යාධාර තොගය මෙරටට රැගෙන ආ අතර, ඊට ඖෂධ ටොන් 10ක් සහ වියළි ආහාර ටොන් 15ක් ඇතුළත් වේ. දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ප්‍රජාවට සහන සැලසීමේ කටයුතු සඳහා සහාය වීමේ අරමුණෙන් මෙම ද්‍රව්‍යාධාර තොගය මෙරටට එවා ඇත.
මීට අමතරව, ශෝර්යා නැමැති ඉන්දියානු වෙරළාරක්ෂක නෞකාවෙන් ටොන් 50 බරැති වියළි සළාක තොගයක් ඊයේ (15) දිනයේදීද මෙරටට එවා තිබු අතර, එම ආහාර තොගය ඉන්දියානු නියෝජ්‍ය මහකොමසාරිස් ආචාර්ය සත්‍යන්ජල් පාණ්ඩේ විසින් වරාය සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු මහතා වෙත නිල වශයෙන් භාර දෙන ලදී.







