ඉන්දියාව සමග ඇති කරගත් ආරක්ෂක ගිවිසුම් ලඟදීම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පැවසුවේය.
ඊයේ (03) සිරස රූපවාහිනියේ සටන වැඩසටහනට එක් වෙමින් ජනාධිපතිවරයා පැවසුවේ මෙම ගිවිසුම් පාර්ලිමේන්තුවට යොමු කිරිම ආණ්ඩුව පාර්ශවයෙන් ඉතා වාසිදායක නමුත් ඇතැම් ගිවිසුම් සම්බන්ධව කරන විවෘත වීම් රාජ්‍ය දෙක අතර අවබෝධයකින් සිදුවිය යුතු බවට එකඟතාවයකට පැමිණ ඇති බවය.
මේ වනවිටත් ඒ සම්බන්ධව ඇති වී තිබෙන සාකච්ඡා හැකි ඉක්මනින් අවසන් කර ගිවිසුම් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් එසේ ඉදිරිපත් වූ පසු මේ මවන බිල්ලන් නැතිවන බව විශ්වාස බවත් ජනාධිපතිවරයා කීවේය.
ඒ සම්බන්ධව වැඩසටහන අතර ඇති වූ සංවාදය මෙසේය.
මාධ්‍යවේදියා – ඉන්දියාවත් එක්ක අපි කවුරුත් දන්නේ නැති ආරක්ෂක ගිවිසුමක් අත්සන් කරනවා?
ජනාධිපතිවරයා – ඔව් ඉතා ඉක්මනින් ඔබට දැනගන්න පුලුවන්. ඒකේ තිබෙන්නේ දැනට යන දේවල් විධිමත් කිරීම. ඒක ඇවිල්ලා ආරක්ෂක සහයෝගීතා ගිවිසුමක්. අපේ ට්‍රේනින් බුද්ධි තොරතුරු හුවමාරු කිරීම් ඒකාබද්ධ වැඩසටහන්… මේවා ඇතුළත් වෙලා තියනවා. එච්චරයි. ඒක ඉතාම ඉක්මනින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න අපි බලාපොරොත්තු වෙනවා.
මාධ්‍යවේදියා. – ඉන්දියානු හමුදාවට ඇවිත් අපේ ත්‍රී කුණාමලය වරායට ගොඩ බහින්න පුලුවන් නේද දැන්? ආයුධ අරන් එහෙ මෙහෙ යන්න පුලුවන් නේද?… ඒ අයිතිය දීලනෙ තියෙන්නේ…
ජනාධිපතිවරයා – නෑ… නෑ…. රටවල් දෙකක් ඇග්රිමන්ට් එකක් අත්සන් කරනකොට රටවල් දෙකටම සමාන අයිතියක් තියනවානේ. දැන් ඉන්දියන් හමුදාවට ත්‍රී කුණාමලයට ගොඩබහින්න පුලුවන්. හැබැයි අපට යන්න බෑ එහෙට. එහෙමනේ දැන් කියන්නේ. එහෙම කොහෙද ආරක්ෂක ගිවිසුම් අත්සන් කරන්නේ. ඒවා ගිවිසුම් අත්සන් කරනව ද?. ඒවා යටත් වීමේ ගිවිසුම්.
රටවල් රටවල් අතර ගිවිසුම් කියන්නේ විවෘත වෙනවා නම් දෙපැත්තටම විවෘත වෙනවා. දන්නැති බබාලනේ මේ ඇවිත් කියන්නේ. ඒ කියන්නේ අපි ත්‍රී කුණාමලය වරයාට එන්න දෙනවා. ඒ ගොල්ල එන්න දෙන්නෙ නෑ එහෙ වරායකට. එහෙම ගිවිසුම් ගහනවා ද?. රාජ්‍ය්‍යන් අතර ගිවිසුම් කියන්නේ එකඟතාවයන් දෙපාර්ශවයටම විවෘත වීම. මේ මොන බොරු ද?.
ඒ ඒ රටේ දේශසීමා භූමි ආරක්ෂාව පිළිබඳ තීන්දු ගැනීම ඒ රටේ අයිතියක් කියලා සඳහන් කරලා තියනවා ඕක කියයි කියලම. අපේ රටේ ආරක්ෂාව පිළිබඳ තීන්දු තීරණ ගැනීමේ මුලු බලය අපට තියෙන්නේ. ඒක ගිවිසුමේ වගන්තියක් ලෙසම දාලා තියනවා. මම දන්නවා ඔයවගේ මහත්තුරු ඇවිත් කඳුළු පෙර පෙර ඔයවගේ කතා කියයි කියලා.
මාධ්‍යවේදියා – ඉන්දියාවේ අවසරයක් ඕන නැද්ද මේ ගිවිසුම ප්‍රකාශයට පත් කරන්න
ජනාධිපතිවරයා – නෑ… සමහර ගිවිසුම් තියනවා අපි එකඟතාවයකට එනකොට ඒ රාජ්‍යයන් අතර අවබෝධයක් අවශ්‍යයයි කියන එකඟතාවය තියනවා සමහර ගිවිසුම්වලට. හැම එකකටම නෙමෙයි. අපි ඒවත් සාකච්ඡා කරලා ඉතාම ඉක්මනින් ඒ ගිවිසුම් ටික දාන්නම්.
මාධ්‍යවේදියා – මේ ආරක්ෂක සහයෝගීතා ගිවිසුම ඊලඟ පාර්ලිමේන්තු සැසියේ දී ඉදිරිපත් කරනව ද?
ජනාධිපතිවරයා – නෑ.. මට ලබන සැරේ බැරි වෙයි. කාලයක් අවශ්‍යයයි. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. මම කියන්නේ අපට වාසිම මේක එළියට දාන එක. මේක නොදැක හදන බිල්ලො… දැන් බලශක්ති එක ගැන හදන බිල්ලෝ…. විදුලි බලය ගැන හදන බිල්ලෝ… ආරක්ෂාව ගැන හදන බිල්ලෝ… බිල්ලා කොච්චර ලොකුද කියනවා නම් ඉන්දියාව පාකිස්ථානය අතර ප්රශ්නය ඇති වෙනකොට කොළඹට බෝම්බදායි කියන තැනට බිල්ලො මවනවානේ. ඒ නිසා මේ සියලු කරුණු ජනතාවට විවෘත කරනවා.







