ඉදිරි මාසයක කාලය තුළ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සේවය කරන සිවිල් ආරක්ෂක භටයින් දස දහසක් පොලිසියට බඳවා ගැනීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක ඇමති ආනන්ද විජේපාල අද (18) පාර්ලිමේන්තුවේ දී පැවසුවේය.
ඔහු කීවේ දැනට කැබිට් අනුමැතිය ලැබී ඇති පොලිස් නිලධාරීන්ගේ නව වැටුප් ව්‍යුහය සකස් කිරීමට පත් කර ඇති කමිටුවේ වාර්තාව ලැබුණු පසු එම කමිටු නිර්දේශ 2026 වසරේ සිට ක්‍රියාත්මක කරන බවය.
ඇමතිවරයා මෙසේ ද පැවසුවේය.
පොලිස් නිලධාරීන් 26000ක හිඟයක් ඇතිවෙලා තියනවා. ඒ වෙනුවෙන් අපි ක්‍රියාත්මක වෙලා තියනවා. පොලිස් නිලධාරීන් පන් දහසක් බඳවා ගන්න මේ වනවිට සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙමින් තිබෙනවා. මේ වෙනකොට පොලිස් කොස්තාපල්වරුන්ගේ සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙනවා. ඒ වගේම කාන්තා පොලිස් නිලධාරිනියන් බඳවා ගැනීමේ ගැසට් පත්‍රය සකස් කර තිබෙනවා.
මේ අනුව මේ වසර තුළ හැකි ප්‍රමාණයක් බඳවා ගන්න මේ වනවිට පොලිස් කොලේජ් එකේ 800ක් දක්වා මේ අවුරුද්ද තුළ පුහුණුවීම් කරලා තියනවා. පොලිස් කොලේජ් 10න් 09ක් සූදානම් කරලා තියනවා ඒ වෙනුවෙන්. 5000ක් 2026 වෙනුවෙන් බඳවා ගන්න අග්‍රාමාත්‍ය තුමිය යටතේ තිබෙන කමිටුවෙන් අනුමැතිය ලැබිලා තියනවා. තව 5000ක් බඳවා ගන්න ජනවාරි ආයෙම ගැසට් කරනවා.
ඒ විතරක් නෙමෙයි… සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව ආරක්ෂක අමාත්‍යාංශය යටතේ තිබිලා මහජන ආරක්ෂ අමාත්‍යාංශය යටතට පත් කරලා තිබෙන්නේ. ඉන් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ දස දහසක් පොලිසියට බඳවා ගන්නට අපි ඉදිරි මාසයක කාලය ඇතුළත.
ඇමතිවරයා පැවසුවේය. පොලිස් නිලධාරීන් වෙනුවෙන් වෙනම වැටුප් ව්‍යුහයක් සකස් කිරීමට අමාත්‍යා මණ්ඩල අනුමැතිය ලබා දී ඇති බවත්, ඒ වෙනුවෙන් කමිටුවක් මේ වනවිට පත් කර ඇති බවත් කී මහජන ආරක්ෂක ඇමතිවරයා ඒ සඳහා පත් කර ඇති කමිටුවේ නිර්දේශ මත පදනම්ව පොලිස් නිලධාරීන් සඳහා වූ වැටුප් ව්‍යුහය 2026 වසරේ දී ක්‍රියාත්මක කරන බව කීවේය.







