-
අත් අඩංගුවට ගත් සැකකරුවන් අතර දෙහිබාලේ ගේ ඥාතියෙක්… ජාවාරම මෙහෙයවූ ප්‍රධාන සැකකරු සැඟවී පලා ගිහින්…
රුපියල් බිලියන 2කට අධික වටිනාකමක් ඇති මත්ද්‍රව්‍ය කිලෝ 193කට අධික ප්‍රමාණයක් සමඟ නාවික හමුදාව විසින් කොටුකර ගත් කුඩා යාත්‍රාවට එම මත්ද්‍රව්‍ය ලබාදුන් බහුදින යාත්‍රාව හඳුනා ගෙන සිය භාරයට ගැනීමට පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය සමත්ව ඇත.
එම බහුදින යාත්‍රාවේ සිටි 05 දෙනෙක්ද මත්ද්‍රව්‍ය ග්‍රෑම් 06ක් සමඟ අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය සඳහන් කරයි. ඔවුන්ව අත්අඩංගුවට ගෙන ඇත්තේ මිරිස්ස ධීවර වරායේදීය.
ඔවුන්ගෙන් කළ ප්‍රශ්න කිරීමේදී හෙළිවූ තොරතුරු මත එම බහුදින යාත්‍රාවේ හිමිකරුද අත්අඩංගුවට ගත් බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
මත්ද්‍රව්‍ය සමඟ කුඩා යාත්‍රාවේ සිටි 05 දෙනෙක්ද මෙසේ අත්අඩංගුවට ගෙන තිබුණි. ඒ අනුව මෙම මත්ද්‍රව්‍ය වැටලීමට අදාළව සැකකරුවන් 11 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය සඳහන් කළේය.
බහුදින යාත්‍රාව ගැඹුරු මුහුදට ගොස් ජාත්‍යන්තර මුහුදු සීමාවේ දී ඉරාන් යාත්‍රාවකින් මත්ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් පටවාගෙන ඇතැයි ද සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළිවී තිබේ. චන්ද්‍රිකා තාක්ෂණික දුරකතනයක් ඔස්සේ මෙහි ප්‍රධාන ජාවාරම්කරු විසින් ලබාදුන් උපදෙස්වලට අනුව ඉරාන යාත්‍රාවෙන් ලබාගත් මත්ද්‍රව්‍ය තවත් කුඩා බෝට්ටු කිහිපයකට නොගැඹුරු මුහුදු තීරයේ දී පටවා ඇති බව ද හෙළිවී තිබේ. කිලෝ 193කට අධික මත්ද්‍රව්‍ය සමඟ කොටුකර ගන්නේ ඒ එක් බෝට්ටුවකි. සෙසු බෝට්ටු සොයා විමර්ශන පැවැත්වෙන බව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.
මෙම බෝට්ටුකරුවන්ව මෙහෙයවා ඇති ප්‍රධාන ජාවාරම්කරුවාද හඳුනා ගැනීමට සමත්ව ඇත. ඔහු දෙවිනුවර කපුගම පදිංචිකරුවෙකි. මේ වන විට ඔහු පලාගොස් සැඟව සිටින බව පොලීසිය කියයි. ලෝස් පටබැඳිගේ සඳුන් ටෙලාන් නමැති සැකකරු අත්අඩංගුවට ගැනීමට මහජන සහාය පතමින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය ඊයේ (24) ඔහුගේ ඡායාරූපයක්ද මාධ්‍යයට නිකුත් කළේය.
මෙම සැකකරු සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ අධ්යක්ෂ වෙත 071-8591876 දුරකතන අංකය වෙත ඇමතුමක් ගෙන දැනුම් දෙන ලෙස ද පොලිස් මාධ්‍ය කොට්ඨාසය මහජනතාවගෙන් ඉල්ලා සිටියේය.

අත්අඩංගුවටගත් සැකකරුවන් දකුණු පළාතේ දෙවුන්දර, මිරිස්ස ආදි ප්‍රෙද්ශවල පදිංචිකරුවන් බව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය සඳහන් කරයි. ඒ අතර කුප්‍රකට දෙහිබාලේ නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ ඥාතියෙක් ද සිටින බවට තොරතුරු අනාවරණය වී තිබේ.
විදේශයක රැඳී සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් කිහිප දෙනකුට මෙම මත්ද්‍රව්‍ය අයත් බව මූලික විමර්ශනවලින් පෙනී ගොස් ඇත. කුඩා බෝට්ටුවේ තිබී හමුවූ මත්ද්‍රව්‍ය උර 11ක බහා තිබී ඇත. අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 172ක් සහ හෙරොයින් කිලෝ 2කට අධික ප්‍රමාණයක් ඒ තුළ තිබී සොයාගෙන තිබේ.
ධීවර යාත්‍රා දෙකම සැකකරුවන් සමඟ ඊයේ උදෑසන ( 24) දික්ඕවිට ධීවර වරාය වෙත රැගෙන ආවේය. එහිදී සැකකරුවන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන මත්ද්‍රව්‍ය පරීක්ෂා කර හඳුනා ගැනීමකින් අනතුරුව සිය භාරයට ගත්තේය.
මෙම මත්ද්‍රව්‍ය තොගය නිරීක්ෂණය සඳහා ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරාල් අරුණ ජයසේකර (විශ්‍රාමික) මහතා සහ නාවික හමුදාපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ, පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති මහේෂ් සේනාරත්න මහත්වරු එක්විය. ඊට අමතරව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නියෝජ්‍ය පොලිස්පති අශෝක ධර්මසේන මහතාද නිරීක්ෂණ සහ විමර්ශන කටයුතුවලට සම්බන්ධව සිටියේය. ( දිනමිණ – ගයාන් කුමාර වීරසිංහ )







