ශ්‍රියානි විජේසිංහ –
හදිසි අනතුරු හේතුවෙන් සතියකට රජයේ රෝහල් වෙත ප්‍රතිකාර සඳහා ඇතුලත් කරන පුද්ගලයින්ගෙන් 50 දෙනෙකු පමණ මිය යන නමුත් එම ප්‍රමාණය සිංහල හා හින්දු අලුත් අවුරුදු සතිය තුලදී 75ක් 100ක් පමණ දක්වා වැඩිවන බව සෞඛ්‍ය අමාත්‍යංශයේ බෝනොවන රෝග ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ සමිත සිරිතුංග සඳහන් කරයි.
අවුරුදු සතිය තුළදී හදිසි අනතුරුවලට ලක්ව පුද්ගලයින් 30000ක් පමණ ප්‍රතිකාර සඳහා ඇතුළත් කළද එය අනෙක් දිනවලදි 25000ක් පමණ වන බවද විශේෂඥවරයා පවසා සිටියි.
හදිසි අනතුරු හේතුවෙන් සෑම පැය 3කට වරක් පුද්ගලයෙන් 4 දෙනෙකුම රටට අහිමි වන බව පෙන්වා දෙන විශේෂඥවරයා සෑම වසරකදීම පූර්ණ ආබාධ තත්ත්වයට පත්වෙන පුද්ගලයින්ගේ සංඛ්‍යාව 30000 – 40000ක් පමණ වන බවද පෙන්වාදේ.
හදිසි අනතුරු හේතුවෙන් රජයේ රෝහල්වල නේවාසික ප්‍රතිකාර ලබා ගැනීමට වාර්ෂිකව මිලියන 1.3ක් පැමිණියද රජයේ රෝහල් නොවන වෙනත් පෞද්ගලික අංශවලින් සහ අත්බෙහෙත් කර ගනිමින් සිටින පිරිස ගත් විට එය මිලියන 3 – 4 ක් විය හැකි බව ඇස්තමේන්තු කර ඇතැයි වෛද්‍ය සිරිතුංග පවසා සිටියි.
ඉදිරියට පැමිණෙන සිංහල හා හින්දු අලුත් අවුරුදු සමයේදී රථවාහන අනතුරු, දියේ ගිලීම්, කලකෝලාහල මගින් සිදුවන හදිසි අනතුරු ඉහළ යන බැවින් එම වලක්වා ගැනීමට සියලුම දෙනා දැනුවත්ව කටයුතු කරන්නැයි හෙතෙම ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.







