අද උදෑසන (04) කපා කොටා ඝාතනය කර තිබූ අඹන්පොල ග්රාම නිලධාරී වසම භාරව කටයුතු කළ ග්රාම නිලධාරී කේ.පී. සපුකුමාර ගේ ඝාතකයන් හෙළි කරගෙන අත්අඩංගුවට ගැනීමට ගල්ගමුව පොලිසිය පොලිසිය සමත් වී තිබේ.
ඝාතනය පිළිබඳ පරීක්ෂණ ආරම්භ කර තිබුණේ අඹන්පොල පොලීසිය විසිනි.
ඝාතන සිද්ධියට මුල් වී ඇත්තේ ඉඩම් ආරවුලක් බව පැවසේ. වාර්තාවන පරිදි සිද්ධිය මෙසේය.
අඹන්පොල ප්රදේශයේ රජයේ ඉඩමක හිමිකම තිබී ඇත්තේ ගල්ගමු දුම්රිය ස්ථානාධිපතිවරයා වෙතය. ඔහු තරුණයෙකි. ඔහුට හිමිකම් ඇති බව කියන මෙම ඉඩමේ පවුලක් බලහත්කාරයෙන් පදිංචි වී නිවසකුත් තනාගෙන ඊට අයිතිවාසිකම් කියමින් ඉඳ තිබේ.
මෙම පවුල සමග සමීප සම්බන්ධතාවයක් පැවැත්වූ බව කියන ග්රාම නිලධාරීවරයා උක්ත ඉඩම් ගනුදෙනුවේ දී සැබෑ අයිතිය ඇති බව කියන දුම්රිය ස්ථානාධිපතිවරයාගේ පාර්ශවයට අගතියක් ඇති වන සේ බලහත්කාරයෙන් පදිංචි වූ බව කියන සිය හිතවත් පාර්ශවය වෙත රාජකාරි සිදුකර ඇති බව පොලිසියට ලැබී ඇති තොරතුරු ප්රකාරව කියැවේ.
මේ සම්බන්ධව උරණ වී සිටි ගල්ගමුව ස්ථානාධිපතිවරයා මෙම ග්රාමසේවක නිලධාරීවරයාට පාඩමක් උගන්වන ලෙසට රුපියල් ලක්ෂ එක හමාරක මුදලකට පුද්ගලයෙකුට කොන්ත්රාත්තුක් දී ඇත. එම පුද්ගලයා ගල්ගමුව මුන්නංකුලම ප්රදේශයෙන් විවාහයක් කරගෙන සිටින හික්කඩුවේ අයෙකි.
කෙසේ වෙතත් පොලිසිය පවසන ආකාරයට කොන්ත්රාත්තුව ලබා දී ඇත්තේ පුද්ගල ඝාතනයකට නොව පහර දී බිය වැද්දීම සඳහා බව පොලිසියට ලැබී ඇති තොරතුරු වලින් හෙළිවේ.
එහෙත් මෙම කොන්ත්රාත්තුව ලබා ගත් පුද්ගලයා තවත් පිරිසක් සමග පැමිණ ග්රාම නිලධාරීවරයාව කපා කොටා ඝාතනය කර ඇත.
මේ වනවිට කොන්ත්රාත්තුව භාර දුන් ගල්ගමුව දුම්රිය ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගෙන තිබේ. අපරාධය සඳහා යොදා ගත් වාහනය ද පොලිස් අත්අඩංගුවට ගෙන ඇත. ප්රධාන ඝාතන සැකකරු අත්අඩංගුවට ගැනීමට මෙහෙයුම් දියත් වී තිබේ.







