සිය පියා ඉදිරිපිටම අම්පිටියේ පාසල් දරුවාගේ සිරුරට භූමිතෙල් වත්කර පුලුස්සා ඇත්තේ සිද්ධියට සම්බන්ධ අපරාධකරු විසින් ඉල්ලූ කප්පම් මුදලක් නොගෙවීම හේතුවෙන් බව පොලිසිය විසින් අනාවරණය කරගෙන තිබේ.
දැනට අත් අඩංගුවට පත්වී ඇති අම්පිටියේ ඉහළතැන්නෙකුඹුර පදිංචි බූවැල්ලේ ගෙරද මලිත් නිසංසල සංජීව නොහොත් පැතුම් නැමැති 26 හැවිරිදි සැකකාර අපරාධකරු මේ පියා සහ පුතු එන මග රැක සිට අදාල කප්පම් මුදල ඉල්ලා ඇතැයි වාර්තා වේ.
මුදල් නොදුන් නිසා දරුවාට ගිනි තැබූ අපරාධකරු මේ සම්බන්ධව පොලිසියට පැමිණිලි කළහොත් එම පවුලම ගිනි තබා මරා දමන බවට තර්ජනය කර ඇතැයි ද, ඒ හේතුවෙන් සිය දෑස් ඉදිරිපිට දරුවා පිච්චූ අපරාධකරු හඳුනා ගැනීමට නොහැකි යැයි පියා පොලිසිය වෙත කටඋත්තර ලබා දී තිබුණේයැයි ද හෙළි වී ඇත.
මේ වනවිට එම අපාරධය සම්බන්ධව විමර්ශනය කිරීම සඳහා මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් යොදවා ඇති විශේෂ පොලිස් කණ්ඩායම වෙත උක්ත අපරාධකරු විසින් කලක සිට සිදු කරන ලද අපරාධ ගණනාවක් සම්බන්ධ පැමිණිලි ගලාගෙන එන්නට පටන් ගෙන ඇතැයි වාර්තා වේ.
ගම්වැසියන් මෙම පැමිණිලි මෙතෙක් පොලිසියට ඉදිරිපත් කර නැත්තේ අත්අඩංගුවට පත් අපරාධකරු ඇතුළු අම්පිටියේ අපරාධකාරී පුද්ගලයින් සහ පොලිසිය අතර ඇති වී තිබුණු සමීප සම්බන්ධතා නිසා බව හෙළි වී තිබේ.
දිගින් දිගටම සිදුකරන පැමිණිලි නොසලකා හැරීමත්, පැමිණිලි කරන පුද්ගලයින්ගේ අනන්‍යතාවය පොලිසිය හරහාම අපරාධකරුවන් අතට පත්වීමත් හේතුවෙන් පොලිසිය පිළිබඳ ජනතා විශ්වාසය බිහිසුණු ලෙස පළුදු වී තිබුණු බව අද එම ප්‍රදේශයට ගිය විශේෂ පොලිස් කණ්ඩායම විසින් අනාවරණය කරගෙන ඇත.
මෙම අපරාධ රැසම හෙළි වන්නේ පාසල් දරුවාට ගිනි තැබූ සාහසික අපරාධකාරී සිදුවීම මාධ්‍ය මගින් දැඩි අවධාරණයකින් යුතුව වාර්තා කිරීමත් සමගය.
ගිනි තැබීමෙන් බරපතල පිලිස්සුම් තුවාල ලද දරුවා රෝහල් ගත කළේ පසුගිය 26 වැනිදා වුවද ඒ සිද්ධිය ඊයේ (28) වනතුරු එළියට පැමිණියේ නැතිවීමට හේතුවත් මෙම බිය ගැන්වීම් බව අනාවරණය වී තිබේ.
මෙම සිදුවීම ප්‍රචාරය වීමෙන් පසුව මහනුවර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චමිල් රත්නායක මාධ්‍ය වෙත පවසා තිබුණේ අපරාධකරු අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් තුනක් යොදවා ඇති බවය. සැකකරු පළාත හැර පලාගොස් ඇති බවත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා කීවේය.
එසේ වුවද අද උදෑසන මධ්‍යම පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න විසින් සිදු කරන ලද සමාලෝචනයකදී අනාවරණය වී ඇත්තේ අද පෙරවරුව වන තුරුත් කිසිදු පොලිස් කණ්ඩායමක් අපරාධකරු අත්අඩංගුවට ගැනීමට යොදවා නැති බවය.
අනතුරුව නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් යෙදවූ විමර්ශන කණ්ඩායම් 04 පැය කීපයක් තුළ සැකකරු අත්අඩංගුවට ගත් අතර ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බව කී අම්පිටිය ඉහළතැන්නෙකුඹුර පදිංචි බූවැල්ලේ ගෙරද මලිත් නිසංසල සංජීව නොහොත් පැතුම් නැමැති සැකකාර අපරාධකරු අදාල අපරාධය සිදු කළ 26 වැනිදායින් පසුවද අම්පිටියේ සිය නිවසේ රැඳි සිට ඇති බව හෙළි වී ඇත.







