පුද්ගලයන් සංචාරක වීසා වලින් විදේශයන්ට යවා ඒ සම්බන්ධයෙන් තොරතුරු ඉදිරිපත් කිරීම පැහැර හැරි විදේශ රැකියා නියෝජිත ආයතන 400ක හිමිකරුවන්ගේ බලපත්‍ර තහනම් කර ඇතැයි කම්කරු අමාත්‍ය මනුෂ නානායක්කාර කම්කරු අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයේ දී අද (03) පැවසුවේය.
එසේම ඩොලර් නැතුව උණ්ඩියල් ආකාරයෙන් කමිෂන් මුදල් රැගෙන ආ තවත් විදේශ රැකියා නියෝජිත ආයතන රැසක්ද තාවකාලිකව තහනම් කළ බව ඔහු සඳහන් කළේය.
ඇමතිවරයා පාර්ලිමේන්තුවේ දි මෙසේ පැවසීය.
“විදේශ රැකියා නියෝජිතායතනවල හිමියකරුවන් නියාමනය කිරීම අපි ඉතාම හොඳින් සිදුකරනවා. මේ වනවිට විසිට් වීසාවලින් යවලා ඒ සම්බන්ධයෙන් අවශ්‍ය තොරතුරු ලබා නොදීපු ආයතනවලින් 400ක් මේ වනවිට තහනම් කරලා තියෙනවා. ඒ වගේම ලංකාවට ඩොලර් විදියට ගෙන්නේ නැතුව උන්ඩියල් ක්‍රමයට තමන්ගේ කමිෂන් මුදල් ලංකාවට ගෙනපු නියෝජිතායතනවලට තාවකාලික තහනම් තියෙනවා. අවසරපත් ලබාදීමේ ක්‍රමවේදයක් හදලා දීලා තිබෙනවා. ඉස්සර ලක්ෂ හතහමාරට තිබුණ එක තව ටික දවසකින් ලක්ෂ 30කින් තමයි බලපත්‍රයක් දෙන්නේ.”







