මනම්පිටිය නිමල් ජයරත්න –
පොලොන්නරුව මාදුරුඔය ඉසෙඩ්.ඩි. ප්රධාන ඇළට අද (03) අලුයම වැලිකන්ද මල්විල ප්රදේශයෙන් වැටුණු වන අලියකු එම ඇලේ සොරොව්වක සිරවී සිටියදි පැය 8ක මෙහෙයුමෙන් අනතුරුව වැලිකන්ද වනජීවී නිලධාරීන් හා ප්රදේශවාසීන් විසින් එක්ව මුදවාගෙන කාසන්වැව රක්ෂිතයට මුදා හැරීමට කටයුතු කළේය.
එම වන අලියා වැලිකන්ද මල්විල ප්රදේශයෙන් වැටි ජලයේ සැඩපහරට හසුව කිලෝමීටර් 17 ක් පමණ ගසාගෙන ගොස් ඇති අතර, සොරොව්වේ පැයක පමණ කාලයක් සිරවී සිට ඇත.
ටයර්, කඹ, යොදාගෙන වන අලියා ස්ථාන දෙකකදී ගොඩගැනීමට වනජීවී නිලධාරීන් සහ ප්රදේශවාසීන් උත්සාහ දැරුවද එය අසාර්ථක වු අතර අලියා ජලයේ සැඩ පාහරට කිලෝමීටර් දාහතක් පමණ ගසාගෙන ගොස් සොරොව්වේ සිරවී ඇත.
ඉබි යතුරු යොදා යකඩ සොරොව්ව වසා තිබුණු අතර ශ්රී ලංකා මහවැලි අධිකාරියේ නිලධාරීන් සොරොව්ව විවෘත කිරීමට පැමිණියද එම සොරොව්ව අක්රීය වී තිබිණි.
මේ හේතුවෙන් වන අලියා සොරොව්වේ පැයක පමණ කාලයක් සිරවී සිටි බවත්, ප්රදේශවාසීන්ගේ සහයෝගය මත, දැඩි උත්සාහයකින්, පසුව අලියා සොරොව්වෙන් ඉවතට ගෙන ජිවිතය බේරා ගත හැකි වූ බවත් වනජීවී නිලධාරීහු සඳහන් කළහ.