පුෂ්පකුමාර ජයරත්න –
මත් කුඩු ප්රවාහනය කළ බව කියන මෝටර් රථයක් නැවැත්වීමට උත්සාහ කිරීමේදී පොලිස් අණ නොතකා ධාවනය කරවීම හේතුවෙන් වෙඩි තබා අත්අඩංගුවට ගත් බව පොල්ගහවෙල පොලීසිය පවසයි.
පොල්ගහවෙල කුරුණෑගල මාර්ගයේ පොල්ගහවෙල මහේස්ත්රාත් අධිකරණය ආසන්නයේදී අද (10) පෙරවරු 11.00ට පමණ මෙය සිදුව ඇත.
මෝටර් රථයකින් පිරිසක් කුරුණෑගල දෙසට මත් කුඩු ප්රවාහනය කරන බවට පොල්ගහවෙල පොලීසියට ලද තොරතුරකට අනුව එම රථය අත්අඩංගුවට ගැනීම සඳහා උඩවෙල ප්රදේශයේ පොලිස් මාර්ග බාධකයක් යොදා තිබී ඇත.
සැක කටයුතු මෝටර් රථය හඳුනාගත් මාර්ග බාධකයේ රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් මෝටර් රථය නවත්වන ලෙස අණ කර ඇතත් එම අණ නොතකා මෝටර් රථය ධාවනය කර ඇත.
මේ අවස්ථාවේදී එහි සිටි පොලිස් නිලධාරියකු මෝටර් රථය ඉලක්ක කර සිදු කළ වෙඩි තැබීමකින් රෝදයකට වෙඩි වැදී රථය නතරවී ඇත.
මේ අවස්ථාවේදී මෝටර් රථයේ ගමන් කරමින් සිටි පුද්ගලයන් තිදෙනකු පලා යාමට උත්සාහ ගෙන ඇතත් පොලිස් ඔවුන් හඹා ගොස් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් ප්රශ්න කරමින් සිටී.
ලංකාදීප –







