කළුතර, වෙට්ටුමකඩ, පල්ලිය පාර ප්‍රදේශයේදී ව්‍යාපාරිකයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන වෙඩික්කරු වන සම්පත් කුමාරතුංග නොහොත් ‘බෝංචියා’ නමැත්තා පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.
කළුතර අපරාධ කොට්ඨාසය මගින් සිදුකළ දීර්ඝ විමර්ශනයකින් පසු, කොළඹ මාලිගාවත්ත ප්‍රදේශයේ නිවසක සැඟව සිටියදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. මාලිගාවත්ත අවට ප්‍රදේශවල සවිකර ඇති CCTV ආවේෂණ කැමරා දර්ශන සියුම් ලෙස නිරීක්ෂණය කරමින්, ලද බුද්ධි තොරතුරක් මත මෙම වැටලීම සිදුකර තිබේ.
අත්අඩංගුවට පත් ‘බෝංචියා’ නමැති 44 හැවිරිදි සැකකරු පයාගල, මැහිමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඔහු මීට පෙරද අවස්ථා කිහිපයකදීම හෙරොයින් ජාවාරම් සහ මත්ද්‍රව්‍ය ළඟ තබාගැනීම සම්බන්ධයෙන් චෝදනා ලැබූවෙකි. සැකකරු අද (03) කළුතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර, සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන සිදුකිරීම සඳහා රැඳවුම් නියෝග ලබා ගැනීමට නියමිතව ඇත.
පොලිස් ඔත්තුවකට පලිගැනීමක්?
පසුගිය මැයි 28 වැනිදා උදෑසන 8.45 ට පමණ කළුතර දකුණ, වෙට්ටුමකඩ මුස්ලිම් පල්ලිය පාරේදී මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් යතුරුපැදියකින් ගමන් කරමින් සිටි මරික්කාර් වීදියේ පදිංචි පකිර් මොහොමඩ් මොහොමඩ් සපික් නමැති 43 හැවිරිදි ගවමස් ව්‍යාපාරිකයා වෙත වෙඩි තබා තිබුණි. වෙඩි වැදීමෙන් බරපතළ තුවාල ලැබූ ඔහුව නාගොඩ රෝහලට ඇතුළත් කළද ඒ වන විටත් මියගොස් සිටියේය.
පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, මියගිය ව්‍යාපාරිකයා පොලිසියට ඔත්තු ලබාදෙන්නෙකු ලෙස සැකකරමින් මෙම ඝාතනය සැලසුම් කර ඇති බවය. ප්‍රධාන පෙළේ අපරාධ කල්ලි නායකයෙකු වන ‘බෝම්බුවල නවීන්’ නමැත්තා විසින් ලබාදුන් කොන්ත්‍රාත්තුවකට අනුව, ඔහුගේ ප්‍රධාන ගෝලයෙකු වන මොහොමඩ් ඉම්රාන් නමැත්තා විසින් මෙම ඝාතනය මෙහෙයවා ඇති බව හෙළි වී තිබේ.
සැලසුම්කරුවන් සහ මත්ද්‍රව්‍ය
මෙම ඝාතන සිද්ධියේ ප්‍රධාන සැලසුම්කරු වන මොහොමඩ් ඉම්රාන් සහ තවත් අයෙකු පසුගිය මැයි 31 වැනිදා කළුතර නගරයේ ක්ලබ් මාවත ක්‍රීඩා පිටිය අසලදී පොලිස් අත්අඩංගුවට පත් විය. එම අවස්ථාවේදී ඔවුන් සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 22,630ක්ද පොලිස් භාරයට ගැනිණි.
වෙඩික්කරුවන් ආ මෝටර් රථයක් සහ වෑන් රථයක් සිද්ධිය වූ දිනයේ දීම පොලිසිය භාරයට ගැනුනි. මෝටර් රථය තෙබුවන නෑබඩ (තැපැල් කාර්යාලය අසල) දමා ගොස් තිබී සොයාගත් අතර, වෑන් රථය හමුවන්නේ දොඩන්ගොඩ ප්‍රදේශයෙනි.







