මනම්පිටිය නිමල් ජයරත්න –
පොළොන්නරුව වැලිකන්ද, සූරියවැව ප්‍රදේශයේ පෞද්ගලික ගොවිපොළක අතහැර දමා තිබූ වගා ළිඳකට වැටී සිටි වන අලි තිදෙනෙකු බේරාගැනීමට වැලිකන්ද වනජීවි නිලධාරීන් සමත්ව තිබේ. පැය නවයක අඛණ්ඩ මෙහෙයුමකින් පසු ජූනි 03 වනදා අලුයම 1.00 ට පමණ මෙම වන අලි තිදෙනා නිරුපද්‍රිතව ගොඩගෙන සූරියවැව රක්ෂිතයට පලවා හැරීමට කටයුතු කර ඇත.
වන අලි සිව්දෙනෙකු මෙම වගා ළිඳට වැටී ඇති අතර, ඉන් එක් වන අලියෙකු ස්ව උත්සාහයෙන්ම ළිඳෙන් ගොඩවී තිබේ. අනෙක් වන අලි තිදෙනා ගොඩගැනීම සඳහා කිසිදු ආයතනයකින් ජේ.සී.බී. (JCB) යන්ත්‍රයක් ලබානොදීම හේතුවෙන් වනජීවි නිලධාරීන් දැඩි දුෂ්කරතාවයකට පත්ව ඇත. පසුව වනජීවි නිලධාරීන් දස දෙනෙකු එකතු වී සවල සහ උදලු ආධාරයෙන් ළිඳේ කට කපා, බෑවුමක් සකස් කර මෙම වන අලි තිදෙනා ගොඩගැනීමට පියවර ගත් බව වනජීවී නිලධාරීන් සඳහන් කරයි.
මෙසේ ළිඳට වැටී සිටි වන අලින් අවුරුදු 03, 20 සහ 39 යන වයස්වල පසුවන සතුන් බව වැලිකන්ද අඩවි ආරක්ෂක සී.ඒ. වනසිංහ සඳහන් කළේය.
ජූනි 02 වනදා සවස සෝමවතිය ජාතික වනෝද්‍යානයේ සිට බීමට ජලය සොයා පැමිණි අවස්ථාවේදී මෙම වන අලි සිව්දෙනා මෙම අතහැර දමා තිබූ වගා ළිඳට වැටෙන්නට ඇති බවට වනජීවී නිලධාරීන් සැක පළ කරයි.







