මැදපෙරදිග කලාපය තුළ හදිසියේ හටගත් යුද ගැටුම් හේතුවෙන් ගෝලීය ආර්ථිකයේ වර්ධන වේගය බරපතල ලෙස අඩාල වී ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජියේවා පවසන්නීය.
මීට පෙර ගෝලීය ආර්ථික වර්ධන පුරෝකථනයන් ඉහළ නැංවීමට සූදානමින් සිටියද, පවතින අස්ථාවරත්වය හමුවේ එම තීරණය වෙනස් කර වර්ධන වේගය පහළ දැමීමට සිදුව ඇති බව ඇය සඳහන් කළාය.
ලෝක ආර්ථිකය ඉතා යහපත් ප්‍රවේශයක පසුවූ බවත්, ආර්ථික වර්ධන වේගය ඉහළ යනු ඇතැයි අපේක්ෂා කළ බවත් පවසන ජෝර්ජියේවා, මැදපෙරදිග ගැටුම් හේතුවෙන් එම ගමන්මඟ සම්පූර්ණයෙන්ම වෙනස් වී ඇති බව අවධාරණය කළාය. පවතින අවිනිශ්චිතභාවය හේතුවෙන් තනි පුරෝකථනයක් ඉදිරිපත් කිරීම වෙනුවට විවිධ ආර්ථික දර්ශකයන් කිහිපයක් ඔස්සේ දත්ත ඉදිරිපත් කිරීමට මූල්‍ය අරමුදලට සිදුව ඇත.
බලපාන ප්‍රධාන සාධක
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අනුව, ඉදිරි ආර්ථික ගමන්මඟ තීරණය වන්නේ ප්‍රධාන සාධක දෙකක් මතය:
- යුද්ධය පවතින කාලසීමාව.
- යටිතල පහසුකම් විනාශ වීමේ ප්‍රමාණය.
යුද්ධය ඉදිරි සති කිහිපය තුළ අවසන් වුවහොත්, ගෝලීය ආර්ථිකයට යම් වේගවත් ප්‍රකෘතිමත් වීමකට අවස්ථාව පවතින බව ඇය පෙන්වා දෙන්නීය. එවැනි තත්වයක් යටතේ ආර්ථික වර්ධනය මන්දගාමී වී උද්ධමනය ඉහළ ගියද, එහි බලපෑම පාලනය කරගත හැකි මට්ටමක පවතිනු ඇතැයි IMF පුරෝකථනය වේ .
ආර්ථික අවපාතයක අවදානම
කෙසේ වෙතත්, ගැටුම් දිග්ගැස්සී යටිතල පහසුකම්වලට දැඩි හානි සිදුවුවහොත් ගෝලීය ආර්ථිකය අතිශය අහිතකර තත්වයකට පත්වනු ඇතැයි ජෝර්ජියේවා අනතුරු ඇඟවූවාය. විශේෂයෙන්ම සැපයුම් දාමයන්ට සිදුවන බාධා එළඹෙන ගිම්හාන කාලය දක්වා පැවතුණහොත්, ලෝක ආර්ථික වර්ධනය ඉතා පහළ මට්ටමකට වැටෙනු ඇතැයි පුරෝකථනය කර තිබේ.
වඩාත් භයානක තත්වය වන්නේ ඇතැම් රටවල් ආර්ථික අවපාතයකට (Recession) ගොදුරු වීම බවත්, එවැන්නක් සිදු නොවනු ඇතැයි තමන් ප්‍රාර්ථනා කරන බවත් ඇය පැවසුවාය. තායිලන්තයේ පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්ෂික සමුළුවේදී ද මෙම කරුණු ප්‍රධාන වශයෙන් සාකච්ඡාවට බඳුන් වනු ඇත.
බලශක්ති අර්බුදය
ලෝක බලශක්ති සැපයුමෙන් සියයට 20ක් පමණ මේ වන විටත් අහිමි වී ඇති අතර, තෙල් සහ ගෑස් මිල ඉහළ යාම ලොව පුරා සෑම රටකටම බලපානු ලබයි.
දැනටමත් නැව්ගත කර ඇති ඉන්ධන තොග ගමනාන්ත වෙත ළඟා වුවද, නව සැපයුම් පිටත් නොවීම හේතුවෙන් අප්‍රේල් මාසය වන විට ආර්ථික තත්වය තවදුරටත් දරුණු විය හැකි බව කළමනාකාර අධ්‍යක්ෂිකාව වැඩිදුරටත් කියා සිටියාය.
පවතින අවිනිශ්චිතභාවය හමුවේ වෙළෙඳපොළ වෙනස්වීම් පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සාමාජික රටවලට උපදෙස් දෙයි.







