සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ව්‍යාපාර

 NDB බැංකුවේ රුපියල් බිලියන 13.2ක මහා පරිමාණ මූල්‍ය වංචාව  ගැන  හෙළිවන සම්පූර්ණ කතාව…!

by editor
අප්‍රේල් 15, 2026
in ව්‍යාපාර
Share on FacebookShare on Twitter

උපේකෂා උඩුවැරැල්ල –

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකු ඉතිහාසය තුළ වාර්තා වූ විශාලතම අභ්‍යන්තර මූල්‍ය වංචාව පසුගිය දා හෙළිදරවු වුනේය.  ඒ සම්බන්ධ නිල තොරතුරු  ජාතික සංවර්ධන බැංකුව (NDB PLC) විසින් නිල වශයෙන් අනාවරණය කර තිබිණි.  2026 අප්‍රේල් මස 02 වැනිදා මෙම සිදුවීම පිළිබඳ මූලික ඉඟියක් ලබාදුන් බැංකුව, අප්‍රේල් 06 වැනිදා ඒ පිළිබඳ සම්පූර්ණ යාවත්කාලීන තොරතුරු කොළඹ කොටස් වෙළඳපොළ (CSE) වෙත නිල වශයෙන් ඉදිරිපත් කළේය.

මේ උත්සාහය මෙම මහා පරිමාණ මූල්‍ය අවභාවිතය පිළිබඳ මුල මැද අග සහිත සම්පූර්ණ කතාව  ඔබ වෙත ඉදිරිපත් කිරීමය.

වංචාවේ ස්වරූපය  

මෙම මහා පරිමාණ මූල්‍ය වංචාව හදිසියේ සිදුවූවක් නොවේ.  වසර දෙකකට ආසන්න කාලයක් තිස්සේ ඉතා සූක්ෂ්ම ලෙස සැලසුම් කර ක්‍රියාත්මක කරන ලද්දකි. විමර්ශන වාර්තා පෙන්වා දෙන්නේ 2023 වසරේ මැද භාගයේදී කුඩා මට්ටමේ ‘පරීක්ෂණ ගනුදෙනු’ (Test Transactions) හරහා මෙය ආරම්භ කර ඇති බවය. ඉන් අනතුරුව 2024 සහ 2025 වසර පුරා ඉතා දැවැන්ත මට්ටමින් මෙම මුදල් අවභාවිතය සිදු කර  තිබිණි.

මෙම වංචාව සම්පූර්ණයෙන්ම බැංකුවේ එක් මෙහෙයුම් අංශයකට පමණක් සීමා වී තිබුණේය.  එම අංශය  ‘ගෙවීම් සහ පියවීම් දෙපාර්තමේන්තුව’ (Department of Payments and Settlements) ය. බැංකුවේ අභ්‍යන්තර සේවකයින් පිරිසක් සහ පිටස්තර පාර්ශ්වයන් කිහිපයක් එක්ව බැංකුවේ අභ්‍යන්තර පද්ධතීන් (Internal Systems) අවභාවිත කරමින් මෙම වංචාව මෙහෙයවා තිබුණේය.

මෙම වංචාව සිදුවූයේ කෙසේ දැයි දැන් සරලව විමසා බලමු.

සාමාන්‍යයෙන් බැංකුවක ‘ගෙවීම් සහ පියවීම් දෙපාර්තමේන්තුව’ යනු බැංකුව හරහා එහා මෙහා යන මුදල් අවසන් වශයෙන් නිවැරදිදැයි පරීක්ෂා කර පියවීම් සිදුකරන “පාලන මධ්‍යස්ථානය” වැනි තැනකි. අප බැංකුවකින්  වෙනත් බැංකුවකට මුදල් යවන විට (CEFT වැනි ක්‍රම හරහා), එම මුදල් ක්ෂණිකව ගිනුම් අතර හුවමාරු වුව ද, බැංකු දෙක අතර පසුව සිදුවන ගිණුම් පියවීම් සිදුවන්නේ පසුවය.  මෙම කොටස  මෙහෙයවන්නේ බැංකුවේ ගෙවීම් සහ පියවීම් දෙපාර්තමේන්තුව ය.

RelatedPosts

විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

මේ කාර්යය වෙනුවෙන්  බැංකුව සතුව ‘තාවකාලික ගිණුම්’ (Suspense Accounts) පවතියි. මේවා හරියට “මුදල් තාවකාලිකව රඳවා තබන පෙට්ටි” වැනිය. උදාහරණයක් ලෙස, එක් බැංකුවකින් තවත් බැංකුවකට මුදල් යවන විට, එම මුදල අවසන් ගමනාන්තයට යන තෙක් තාවකාලිකව මෙවැනි ගිණුමක සටහන් වේ. දවස අවසානයේදී මෙම තාවකාලික ගිණුම්වල ඇති මුදල් සහ ඇත්තටම ගනුදෙනු වූ මුදල් සමාන විය යුතුය.

මෙම වංචාවේදී සිදුව ඇත්තේ ගෙවීම් සහ පියවීම් දෙපාර්තමේන්තුවේ  සේවකයින් විසින් මෙම තාවකාලික ගිණුම්වල ඇති මුදල්වලින් කොටසක්, ව්‍යාජ ගනුදෙනු සටහන් (Fake Entries) මගින් පිටස්තර පුද්ගලයන්ගේ ගිණුම් වෙත හරවා යැවීමය.

සාමාන්‍යයෙන් බැංකුවක මෙවැනි ගනුදෙනුවක් සිදුවන විට එය පරීක්ෂා කිරීමට (Verify) තවත් නිලධාරියෙකු සිටිය යුතුය. එහෙත් මෙහිදී එම පරීක්ෂාව සිදුකළ යුතු නිලධාරීන්ද වංචාවට හවුල් වීම නිසා, බැංකුවේ අභ්‍යන්තර පද්ධතියට පෙනී ගොස් ඇත්තේ මෙය ඉතා නිවැරදි, සාමාන්‍ය ගනුදෙනුවක් ලෙසය.

ඔවුන් ඉතා සූක්ෂ්ම ලෙස බැංකුවේ ‘සාමාන්‍ය ලෙජරය’ (General Ledger) හෙවත් ප්‍රධාන ගිණුම් පොතේ සටහන් වෙනස් කරමින්, මෙම අතුරුදහන් වූ මුදල් “තවමත් ලැබීමට ඇති මුදල්” ලෙස පද්ධතියට පෙන්වා දී තිබේ.

තවත් සරලව කිවහොත් මේ සොරකම සිදුවී ඇත්තේ මෙසේය.  ගබඩාවක බඩු එළියට යන විට ඒවා සටහන් කරන පොත පාලනය කරන පුද්ගලයාම බඩු සොරකම් කර, පොතේ සටහන් ද ව්‍යාජ ලෙස සකස් කළහොත් ගබඩා අයිතිකරුට එම වංචාව  එකවරම හසු නොවේ. මෙහිදී ද සිදුව ඇත්තේත් එවැනකි.

වංචාකරුවන් පිරිසක් එක්ව බැංකුවේ මුදල් පාලනය කරන ‘පොත්පත්’ (Software පද්ධතිය) තමන්ට අවශ්‍ය ලෙස හසුරුවා ඇත. ඔවුන් මුලින් කුඩා මුදල් ප්‍රමාණයන් මෙලෙස සොරාගෙන පද්ධතියට හසු නොවන බව තහවුරු කරගෙන, පසුව රුපියල් බිලියන ගණනින් මුදල් පිටතට යවා තිබේ. මේ සඳහා ඔවුන් CEFT පද්ධතිය (ක්ෂණික මුදල් හුවමාරු ක්‍රමය) යොදාගෙන ඇත්තේ එමගින් මුදල් ඉතා වේගයෙන් විවිධ ගිණුම් හරහා මාරු කර පසුව සොයාගත නොහැකි වන සේ ගුප්තකේතන මුදල්  Crypto  Carancy බවට පත් කිරීමට ඇති පහසුව නිසාය.

මෙහි ඇති විශේෂත්වය වන්නේ, සේවකයින් සොරාගෙන ඇත්තේ බැංකුවේ ලාභය හෝ බැංකුව සතු අරමුදල් මිස, ගනුදෙනුකරුවන් තැන්පත් කළ මුදල් නොවීමය. ඒ නිසාම කිසිදු පුද්ගලික ගිණුමක මුදල් අඩුවීමක් සිදු නොවූ අතර, එම නිසා මෙම වංචාව හඳුනා ගැනීමට බැංකුවට වසර දෙකක් වැනි දීර්ඝ කාලයක් ගත වූයේය.

බැංකුව විසින් සිදුකරන ලද ගැඹුරු අභ්‍යන්තර විගණනයකදී (Internal Audit) “ලැබිය යුතු මුදල්” ලෙස පෙන්වා දී තිබූ බිලියන ගණනක හිඟය පියවීමට භෞතිකව මුදල් නොමැති බව හෙළිවීමත් සමඟ මෙම මහා පරිමාණ වංචාව අනාවරණය විය.

මූල්‍ය බලපෑමේ ස්වභාවය

මුලින් මෙම වංචාවෙන් රුපියල් මිලියන 380ක පාඩුවක් සිදුව ඇති බව අප්‍රේල් 02 වැනිදා වාර්තා වුවද, අප්‍රේල් 06 වැනිදා සිදුකළ විස්තීර්ණ ගණනය කිරීම්වලින් හෙළි වූයේ සිදුව ඇති සම්පූර්ණ දළ අලාභය රුපියල් බිලියන 13.2ක් (රු. මිලියන 13,200) වන බවය.

කෙසේ වෙතත්, 2026 මාර්තු 31 දිනෙන් අවසන් වන කාර්තුව සඳහා බැංකුවට දැරීමට සිදුවන ශුද්ධ මූල්‍ය බලපෑම (බදු ගෙවීමෙන් පසු) රුපියල් බිලියන 4ක් පමණ වනු ඇතැයි ගණන් බලා ඇත. මෙය බැංකුවේ මුළු වත්කම් වන රුපියල් බිලියන 990ක ප්‍රමාණය හා සසඳන විට 0.7%කටත් වඩා අඩු ප්‍රතිශතක් වීම සැලකිය යුතුය.

යළිත් අවධාරණය කළ යුතු  වැදගත්ම කරුණ වන්නේ, මෙම වංචාවෙන් කිසිදු ගනුදෙනුකරුවෙකුගේ තැන්පතුවකට හෝ ගිණුමකට හානියක් සිදුව නොමැති වීමය. මහජනතාව සතු මුදල් සම්පූර්ණයෙන්ම ආරක්ෂිත වන අතර, බැංකුවේ මුදල් ආපසු ගැනීම්, හුවමාරු කිරීම් ඇතුළු සියලුම සේවාවන් කිසිදු බාධාවකින් තොරව සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වෙමින්  පැවතීමය.

අනාවරණය සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග

2026 මාර්තු මස අගභාගයේදී NDB බැංකුව විසින් සිදු කරන ලද අභ්‍යන්තර සමාලෝචනයකදී මෙම වංචාවේ සැබෑ තොරතුරු අනාවරණය විය. ඒ සමඟම බැංකු කළමනාකාරීත්වය වහාම ක්‍රියාත්මක වී පහත පියවර ගන්නා ලදී:

  • අවංචාවට සම්බන්ධ යැයි සැක කෙරෙන සියලුම නිලධාරීන්ගේ වැඩ තහනම් කළ අතර ඔවුන්ගේ පද්ධති ප්‍රවේශයන් (System Access) අවලංගු කරන ලදී.
  • අදාළ ගෙවීම් සහ පියවීම් අංශය දැඩි පාලනයක් සහිත නව කළමනාකාරීත්වයක් යටතට පත් කරන ලදී.
  • සාක්ෂි සුරක්ෂිත කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) වෙත නිල පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලදී.
  • සම්පූර්ණ පරීක්ෂණයක් සඳහා ස්වාධීන වෝහාරික විගණකවරයෙකු (Forensic Auditor) පත් කරන ලදී.
  • ශ්‍රී ලංකා මහ බැංකුව (CBSL) මේ සම්බන්ධයෙන් නිරන්තරයෙන් දැනුවත් කරන ලදී.

නීතිමය ක්‍රියාමාර්ග සහ අත්අඩංගුවට ගැනීම්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ අංශය මගින් මේ වන විට විමර්ශන මෙහෙයවනු ලබයි. අප්‍රේල් 8-9 දින වන විට, NDB බැංකුවේ ගෙවීම් සහ පියවීම් දෙපාර්තමේන්තුවේ සහකාර කළමනාකරුවෙකු ඇතුළු සැකකරුවන් සිවුදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

මීට පෙර 2025 නොවැම්බර් මාසයේදී වාර්තා වූ රුපියල් මිලියන 290ක මූල්‍ය අක්‍රමිකතාවයකට අදාළව නියෝජ්‍ය කළමනාකාරවරයෙකු සහ තොරතුරු තාක්ෂණ අංශයේ සාමාන්‍යාධිකාරීවරයා සම්බන්ධ බවට ද තොරතුරු හෙළි විය.

සැකකරුවන් දැනට අධිකරණ නියෝග මත රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති අතර, පොලිසිය විසින් මෙම මුදල් ගලා ගිය ආකාරය සහ ඒවා ක්‍රිප්ටො කරන්සි    හරහා විශුද්ධිකරණය කළේ දැයි සෙවීමට වැඩිදුර විමර්ශන පවත්වයි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ ස්ථාවරය සහ නියාමන ක්‍රියාමාර්ග

මෙම සිදුවීම අනාවරණය වීමත් සමඟ ශ්‍රී ලංකා මහ බැංකුව (CBSL) වහාම මැදිහත් වී ස්වාධීන තක්සේරුවක් සිදු කරන ලදී. මහ බැංකුව විසින් නිකුත් කරන ලද නිල නිවේදන මගින් කරුණු කිහිපයක් අවධාරණය කර ඇත:

  • ගනුදෙනුකරුවන්ගේ සුරක්ෂිතතාව: බැංකුවේ ගනුදෙනුකරුවන්ගේ ගිණුම් හෝ තැන්පතුවලට මෙමගින් කිසිදු බලපෑමක් සිදුව නොමැති බව මහ බැංකුව ස්ථිරවම ප්‍රකාශ කරයි.
  • මූල්‍ය ශක්තිමත්භාවය: NDB බැංකුවේ ප්‍රාග්ධන ප්‍රමාණාත්මක අනුපාත (Capital Adequacy) සහ ද්‍රවශීලතා අනුපාත (Liquidity Ratios) තවමත් නියාමන අවශ්‍යතාවලට වඩා ඉහළ මට්ටමක පවතින බැවින් බැංකුවේ ස්ථාවරත්වයට තර්ජනයක් නොමැත.
  • පද්ධතිමය අවදානම: මෙම සිදුවීම නිසා මෙරට සමස්ත බැංකු පද්ධතියට කිසිදු පද්ධතිමය අවදානමක් (Systemic Risk) එල්ල නොවන බව මහ බැංකුව තහවුරු කරයි.

කෙසේ වෙතත්, නියාමන පියවරක් ලෙස මහ බැංකුව විසින් NDB බැංකුව වෙත විශේෂ උපදෙස් මාලාවක් නිකුත් කර ඇත. ඒ අනුව, 2026 අප්‍රේල් මාසය සඳහා සැලසුම් කර තිබූ මුදල් ලාභාංශ (Cash Dividend) ගෙවීම අත්හිටුවා ඇති අතර, ඒ වෙනුවට කොටස් ලාභාංශ (Scrip Dividend) ලබා දීම කෙරෙහි බැංකුවේ අවධානය යොමු වී ඇත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) ද ප්‍රකාශ කර ඇත්තේ තමන් මෙම තත්ත්වය සමීපව නිරීක්ෂණය කරන නමුත්, ලාංකීය බැංකු පද්ධතියේ ස්ථාවරත්වයට මෙයින් බලපෑමක් නොවන බවට මහ බැංකුව දරන මතය සමඟ එකඟ වන බවය.

පාර්ලිමේන්තු අධීක්ෂණය සහ පාලන දුර්වලතා

2026 අප්‍රේල් 07 වැනිදා රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (CoPF) විසින් මෙම වංචාව සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන ලදී. එහිදී කාරක සභාව කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සිය දැඩි අප්‍රසාදය පළ කළේය:

  1. බැංකුවේ අභ්‍යන්තර ආයතනික පාලනයේ (Corporate Governance) පවතින බරපතල අඩුපාඩු. විශේෂයෙන්ම විගණන කමිටුව සහ ඒකාබද්ධ අවදානම් කළමනාකරණ කමිටුව මේ පිළිබඳව නිසි අවධානයක් යොමු නොකිරීම.
  2. ශ්‍රී ලංකා මහ බැංකුවේ අධීක්ෂණ ක්‍රියාවලියේ පවතින දුර්වලතා.
  3. මෙවැනි මහා පරිමාණ වංචාවක් හඳුනා ගැනීමට සහ ඒ පිළිබඳ වාර්තා කිරීමට සිදු වූ දීර්ඝ ප්‍රමාදය.

මේ සම්බන්ධයෙන් වහාම නිවැරදි කිරීමේ පියවර ගන්නා ලෙස කාරක සභාව නියෝග කර ඇති අතර, තත්ත්වය නිරන්තරයෙන් නිරීක්ෂණය කරන බව දන්වා ඇත.

අධ්‍යක්ෂ මණ්ඩලයේ වගකීම සහ මහජන විවේචන

මෙම වංචාව මෙහෙයවා ඇත්තේ බැංකු සේවකයින් සහ පිටස්තර පුද්ගලයින් වුවද, වසර දෙකක් තිස්සේ මෙය අනාවරණය කර ගැනීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලය වෙත දැඩි විවේචන එල්ල වෙමින් පවතී. ‘වෙනත් වත්කම්’ (Other Assets) සහ CEFT ගිණුම්වල පැවති පැහැදිලි කළ නොහැකි විශාල ශේෂයන් පිළිබඳව විගණන හා අවදානම් කමිටු මීට පෙර ප්‍රශ්න කළ යුතුව තිබූ බව විචාරකයෝ පෙන්වා දෙති.

මේ හේතුවෙන් ‘Fitch Ratings’ ආයතනය විසින් NDB බැංකුවේ ශ්‍රේණිගත කිරීම A(lka) සිට A-(lka) දක්වා පහත හෙළා ඇති අතර, එහි ඉදිරි දැක්ම ‘සෘණාත්මක’ (Negative) ලෙස නම් කර ඇත. බැංකුවේ විශ්වාසනීයත්වය යළි ගොඩනැගීම සඳහා සමස්ත අධ්‍යක්ෂ මණ්ඩලයම ඉල්ලා අස්විය යුතු බවට ඇතැම් පාර්ශ්ව බල කර සිටියද, 2026 අප්‍රේල් 15 වන දින වන විටත් අධ්‍යක්ෂ මණ්ඩලයෙහි වෙනසක් සිදුව නැත.

මෙතෙක් සිදු කළ විමර්ශනවලින් අධ්‍යක්ෂවරුන් පෞද්ගලිකව මෙම වංචාවට සම්බන්ධ බවට සාක්ෂි හමු වී නොමැති අතර, අවධානය යොමු වී ඇත්තේ සේවකයින් සහ පිටස්තර ජාලය පිළිබඳවයි.

වර්තමාන තත්ත්වය සහ ඉදිරි දැක්ම

NDB බැංකුව අවධාරණය කරන්නේ තමන් රුපියල් බිලියන 4ක මූල්‍ය ප්‍රතිපාදන වෙන් කර ඇති බවත්, එම පාඩුව දරා ගනිමින් ඉදිරියට යාමට බැංකුවට මූල්‍ය ශක්තිය පවතින බවත්ය. වංචා කරන ලද මුදල් යළි අයකර ගැනීමට බලධාරීන් සමඟ එක්ව කටයුතු කරමින් සිටින බැංකුව, සිය දෛනික මෙහෙයුම් කිසිදු බාධාවකින් තොරව පවත්වාගෙන යයි.

මෙය තවමත් ක්‍රියාත්මක වෙමින් පවතින විමර්ශනයක් බැවින්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරීක්ෂණ සහ වෝහාරික විගණන වාර්තා හරහා ඉදිරියේදී තවත් තොරතුරු අනාවරණය වීමට ඉඩ ඇත. බැංකුව විසින් ඒ පිළිබඳව කොළඹ කොටස් වෙළඳපොළ හරහා නිල වශයෙන් දැනුම් දීමට නියමිතය.

මෙහිදී යළි යළිත්  අවධාරණය කළ යුතු කතාවක් තිබේ. ඔබ NDB බැංකුවේ තැන්පත් කර ඇති මුදල් පූර්ණ ආරක්ෂිතය. මෙය බැංකුවේ අභ්‍යන්තර මෙහෙයුම් පද්ධතිය තුළ සිදු වූ වංචාවක් මිස ගනුදෙනුකරුවන්ගේ ගිණුම්වලට එල්ල වූ සයිබර් ප්‍රහාරයක් හෝ හැක් කිරීමක් නොවන බව නැවත නැවතත් තහවුරු කර ඇත. තාක්ෂණික අවකාශය තුළ ඉතාම හදවතට අවංක නොවූ මිනිසුන් ගොදුරු ඩහැගැනීමේ අභිලාෂය සහිතව සැරිසරන ලෝකයක බැංකුවක් පවා සුරක්ෂිත නැති බව මේ සිදුවීම අපට පෙන්වා දී ඇත.

අප මුහුණ දෙමින් ඇත්තේ අරුමයකට නොව, ලෝක ස්වරූපයේ යථාවටය.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ජනපති මල්වතු, අස්ගිරි අනුනායක හිමිවරු බැහැදක ආශීර්වාද ලබා ගනී!

Next Post

මැදපෙරදිග යුද්ධය ගෝලීය ආර්ථිකයේ වේගය අඩාල කරන හැටි IMF අනාවරණය කරයි!

Related Posts

daya-g
පුවත්

දයා ඇපරල් සමාගමේ දේපළ වෙන්දේසි කිරීමට අභියාචනාධිකරණයෙන් ලැබෙන වසරයේ නීතිමය පූර්වාදර්ශය මෙන්න..

ජූනි 21, 2026
ව්‍යාපාර

මහ බැංකුවෙන් අපනයනකරුවන් ඉලක්ක කරගෙන අති විශේෂ ගැසට් පත්‍රයක්…

ජූනි 9, 2026
rupee
පුවත්

වැටුන එක කෙලින් වූ පසු…  මැයි මාසයේ රුපියලේ අගය වේගයෙන් වෙනස් වීමට බලපෑ සැබෑ හේතු ගැන මහ බැංකු සහ වෙළඳපොළ දත්ත ඇසුරින් කළ විග්‍රහයක්…

මැයි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Wijedasa-R

විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

ජූනි 26, 2026

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ජූනි 26, 2026
bus-fare- sri_lanka_buses

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!
  • දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!
  • ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.