තමා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ (GMOA) සහකාර ලේකම් සහ විධායක සභිකයෙකු වන බැවින් තමන්ව ස්ථානමාරු කිරීම නීතිවිරෝධී යැයි ප්‍රකාශ කරන ලෙස ඉල්ලා වෛද්‍ය පාලිත රාජපක්ෂ සහ එම සංගමය විසින් ඉදිරිපත් කළ පෙත්සම අද (12) ඉල්ලා අස්කර ගනු ලැබීය.
වෛද්‍ය පාලිත රාජපක්ෂ වසර 11ක් පුරා බදුල්ල මහ රෝහලේ සේවය කර ඇති අතර, ඔහුට ලබාදුන් ස්ථාන මාරුවට එරෙහිව සෞඛ්‍ය අමාත්‍යාංශයට එරෙහිව මෙම පෙත්සම ගොනු කර තිබුණි.
මෙම නඩුව පසුගිය මැයි 04 වනදා කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියේ, ස්ථාන මාරු ලිපිය ලැබීමෙන් පසු මැයි 02 වනදා සිටම වෛද්‍යවරයා බදුල්ල මහ රෝහලේ සිට බදුල්ල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය වෙත සේවයට වාර්තා කර ඇති බවයි.
දෙපාර්ශ්වයේ කරුණු සලකා බැලූ කොළඹ අභියාචනාධිකරණය නඩුව අද දිනට කල් තැබූ අතර, එහිදී පෙත්සම්කාර පාර්ශ්වය තීරණය කළේ නඩු කටයුත්ත ඉදිරියට පවත්වාගෙන නොයමින් එය ඉල්ලා අස්කර ගැනීමටයි. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ද සෞඛ්‍ය අමාත්‍යාංශයේ ස්ථාන මාරු මණ්ඩලය නියෝජනය කරන පසුබිමක මෙම පෙත්සම ඉදිරිපත් කර තිබීම විශේෂත්වයකි.







