මැදපෙරදිග කලාපය තුළ වර්ධනය වෙමින් පවතින යුදමය වාතාවරණය සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර අද (24) පස්වරුවේ විශේෂ දුරකථන සංවාදයක් පවත්වා තිබේ.
මෙහිදී දෙරටේ නායකයින්ගේ ප්‍රධාන අවධානය යොමු වූයේ මැදපෙරදිග පවතින නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් කලාපීය සහ ගෝලීය සැපයුම් ජාලයන්ට එල්ල විය හැකි අහිතකර බලපෑම් පිළිබඳවය.
විශේෂයෙන්ම මෙම තත්ත්වය ලෝක වෙළඳාමට සහ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සැපයුමට එල්ල කරන තර්ජනය පිළිබඳව නායකයෝ දීර්ඝ ලෙස කරුණු සාකච්ඡා කළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.
මීට අමතරව, ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර බලශක්ති ක්ෂේත්‍රයේ සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබඳවද මෙහිදී අවධානය යොමු විය. කලාපීය ආරක්ෂාව තහවුරු කිරීම සඳහා දෙරට එක්ව කටයුතු කිරීමේ වැදගත්කම පිළිබඳවද ජනාධිපතිවරයා සහ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙහිදී අදහස් හුවමාරු කර ගත් බව එම නිවේදනයේ දැක්වේ.







