කීර්ති ප්‍රනාන්දු –
මිනුවන්ගොඩ යකහටුව සමගි මාවත ප්‍රදේශයේ අතුරු මාර්ගයක මියගොස් සිටි තරුණයෙකුගේ මළ සිරුරක් අද (02) උදෑසන හමුවී ඇතැයි මිනුවන්ගොඩ පොලිසිය පවසයි .
මියගිය පුද්ගලයා 22 වියැති දෙවොලපොළ කනත්ත පාර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලිස් විමර්ශන මගින් හඳුනාගෙන ඇතැයි පොලිසිය කියයි .
මෙතෙක් කරන ලද විමර්ශනවලට අනුව මරණකරු ඊයේ (01) රාත්‍රියේ මළගෙදරකට ගොස් ඇති බවට අනාවරණය වී තිබේ. සමගිමාවත අතුරු මාර්ගයක තිබී හමු වූ මෙම මළ සිරුරේ තුවාල කිසිවක් පෙනෙන්නට නොමැති බවත් මරණකරු තදින් මත්ද්‍රව්‍ය භාවිතයට පුරුදු වී සිටි අයෙකු බවටත් අනාවරණය වී ඇතැයි මිනුවන්ගොඩ පොලිසිය පවසයි .
මේ පිළිබඳව මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වීමෙන් පසු මිය ගිය පුද්ගලයාගේ මෘත ශරීරය පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණය ගම්පහ මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා හමුවේ අද(02) දින පැවැත්වීමට නියමිතව ඇතැයි මිනුවන්ගොඩ පොලිසිය කියා සිටි.
මිනුවන්ගොඩ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එන්.පී.එස්. ජයලත්ගේ මෙහෙයවීම යටතේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සම්පත් පෙරේරා ඇතුළු පොලිස් නිලධාරීන් කණ්ඩායමක් සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වයි







