බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩාව අඩපණ කළ අර්බුදය මේ වන විට විසඳී ඇත.
වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩකයින් ආරම්භ කළ මෙම තරග වර්ජනය, බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය (BCB) සහ බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ සුභසාධක සංගමය (CWAB) අතර පැවති තීරණාත්මක සාකච්ඡාවකින් පසු 2026 ජනවාරි 15 වන දින සවස් වරුවේ අවසන් කරන ලදී.
මෙම අර්බුදයේ ආරම්භය, ක්‍රීඩකයින්ගේ ඉල්ලීම් සහ ඇති කරගත් එකඟතාවන් පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු මෙසේය
ගැටලුවට මූලික වූ හේතුවබංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයේ අධ්‍යක්ෂවරයෙකු මෙන්ම මූල්‍ය කමිටුවේ සභාපතිවරයා වූ එම්. නස්මුල් ඉස්ලාම් (M. Nazmul Islam) විසින් කරන ලද ආන්දෝලනාත්මක ප්‍රකාශ මෙම වර්ජනයට මූලික හේතුව විය. ඉන්දියාව සහ බංග්ලාදේශය අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික හා ක්‍රිකට් ආතතීන් හමුවේ ඔහු සිදුකළ පහත ක්‍රියාවන් ක්‍රීඩකයින්ගේ දැඩි කෝපයට හේතු වූයේය.
ඔහු ජ්‍යෙෂ්ඨ ක්රීඩයකින්ට අපහාස කළ බවට චෝදනා විය. ප්‍රධානම චෝදනාව වූයේ 2026 විස්සයි-20 ලෝක කුසලානය සම්බන්ධයෙන් මතුව ඇති ගැටලු විසඳීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය (BCCI) සමඟ සාකච්ඡා කරන ලෙස යෝජනා කළ හිටපු නායක තමීම් ඉක්බාල්ව එම්. නස්මුල් ඉස්ලාම් “ඉන්දීය නියෝජිතයෙකු” ලෙස හැඳින්වීමය.
ක්‍රීඩකයින්ගේ මුදල් සම්බන්ධව ද ඔහු අපහාසාත්මක ප්‍රකාශයක් කර තිබිණි. ජාත්‍යන්තර ඇගයීමක් නොමැති ක්‍රීඩකයින් වෙනුවෙන් පාලක මණ්ඩලය කෝටි ගණන් මුදල් වියදම් කර ඇති බවත්, ලෝක කුසලානයෙන් ඉවත් වුවහොත් එම ක්‍රීඩකයින්ට වන්දි ගෙවීමේ අවශ්‍යතාවයක් නොමැති බවත් පවසමින් ඔහු ක්‍රීඩකයින්ව අවතක්සේරුවකට ලක් කළේය.
එමෙන්ම මුස්තාෆිසුර් රහ්මාන් සිදුවීම දේශපාලන ආතතීන් මත මුස්තාෆිසුර් රහ්මාන් හට IPL තරඟාවලියට සහභාගී වීමට අවසර නොදීම සහ ලෝක කුසලාන තරඟ ඉන්දියාවෙන් පිටතට ගන්නා ලෙස කළ ඉල්ලීම් ද මෙම අර්බුදය තීව්ර කළේය.
මෙම වර්ජනයට ආසන්නම හේතුව වුයේ මොහොමඩ් මිතුන්ගේ නායකත්වයෙන් යුත් බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ සුභසාධක සංගමය විසින් ඉදිරිපත් කළ ඉල්ලීම් ඉටු නොකිරීමය. මේ හේතුව නිසා ඊයේ (15) දින ක්‍රීඩකයින් තරඟාවලියෙන් ඉවත් විය. ප්‍රතිඵළයක් ලෙස බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් (BPL) තරඟ කිහිපයක් නතර කිරීමට සිදු විය. නස්මුල් ඉස්ලාම් ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බව ක්‍රීඩකයින්ගේ ප්‍රධාන ඉල්ලීම විය.
අනතුරුව පැවති හදිසි සාකච්ඡාවකින් අනතුරුව බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය ක්‍රීඩකයින්ගේ ඉල්ලීම්වලට එකඟ වූ අතර ඒ අනුව වර්ජනය අවසන් කෙරුණි.
ඒ අනුව නස්මුල් ඉස්ලාම් මූල්‍ය කමිටු සභාපති ධුරයෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කරන ලදී. අනතුරුව තමන් කළ ප්‍රකාශය සම්බන්ධයෙන් නස්මුල් ඉස්ලාම් ප්‍රසිද්ධියේ සමාව අයැද සිටි අතර ක්‍රීඩකයින් එය පිළිගත්තේය. එමෙන්ම ඔහුට එරෙහිව නිල විනය පරීක්ෂණයක් ආරම්භ කිරීමට පාලක මණ්ඩලය තීරණය කළේය.
අතපසු වූ තරඟ නැවත පැවැත්වීම සඳහා BPL තරඟ කාලසටහන සංශෝධනය කර ඇත. ජනවාරි 15 පැවැත්වීමට තිබූ තරඟ අද ( 16 ) දිනට කල් තැබුණි. අවසන් පූර්ව වටයේ (Eliminator/Qualifier) තරඟ ජනවාරි 19 වෙනුවට ජනවාරි 20 දින පැවැත්වීමට නියමිතය.







