2023 කාන්තා පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවති මංගල තරගයේ දී ප්‍රබල දකුණු අප්‍රිකානු කණ්ඩායම පරාජය කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම පෙරළිකාර ජයග්‍රහණයකය. එම ජයග්‍රහණය ලකුණු 03ක ඉතා තියුණු ජයග්‍රහණයකි.

මෙවර කාන්තා ලෝක කුසලානයේ සත්කාරකයින් දකුණු අප්‍රිකාවය. ආරම්භක තරගයේ දී ප්‍රබල සත්කාරක දකුණු අප්‍රිකාව පරාජය කිරීම ලෝක කුසලාන තරගාවලියේ රිද්මය ආකර්ශනීය ලෙස වෙනස් කිරීමක් වූයේය.
තරගය පැවැත්වූයේ කේප්ටවුන් හි නිව්ලන්ඩ්ස් ක්‍රීඩාංගනයේ දීය. මෙරට වේලාවෙන් ඊයේ (10) රාත්‍රී 10.30ට තරගය ආරම්භ විය. කාසියේ වාසිය දිනුවේ දකුණු අප්‍රිකානු කාන්තාවන්ය. ඔවුහු පන්දු රැකීම තේරූහ.
ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට ආරාධනා කළ දකුණු අප්‍රිකානු කණ්ඩායම ශ්‍රි ලංකා කණ්ඩායම ලකුණු 129කට සීමා කළහ. නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 4 ක් දැවී ශ්‍රී ලංකා කණ්ඩායම එම ලකුණු 129 රැස්කළේය.

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් ලකුණු රැස් කිරීමේ දී යම් මන්දගාමී ස්වරූපයක් පෙන්නුවේය. පළමු පන්දුවාර 6 හෙවත් පවර් ප්ලේ අවස්ථාව නිමා වන විට ශ්‍රී ලංකාව කිසිදු කඩුල්ලක් දැවී තිබුණේ නැත. නමුත් ලබා සිටියේ ලකුණු 28 කි.
ඉනිමේ පළමු කඩුල්ල ලෙස ආරම්භක පිතිකාරිණී හර්ෂිතා සමරවික්‍රම ලකුණු 8 කට දැවී ගියේය. අනතුරුව පිටියට පැමිණි නායිකා චමරි අතපත්තු හා විශ්මි ගුණරත්න විශිෂ්ට පිතිකරණයක නිරත වූහ. ඔවුහු දෙවැනි කඩුල්ල සඳහා වේගවත් ලකුණු 86 ක සම්බන්ධතාවයක් ගොඩ නැගූහ. එම ලකුණු 86 ලබා ගත්තේ පන්දු 62 කිනි.
විශ්මි පන්දු 34 කින් ලකුණු 35ක් ලබා ගත්තාය. ලෝක කුසලාන මංගල තරගය ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන්ට මංගල්‍යයක් කරමින් චමරී යළිත් වේගවත් අර්ධ ශතකයක් වාර්තා කළාය. ඇය ලකුණු 68ක් ලබා ගත්තාය. ඒ පන්දු 50ක් තුළ දී ය. හතරේ පහර 12 කින් ඇයගේ ඉනිම වර්ණවත් විය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකා කාන්තා කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 9 ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 126 ක් පමණි. නායිකා සූනේ ලූස් ලකුණු 28 ක් ලබාගනිමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යාමට දැඩි උත්සාහයක නිරතවූවාය. ලව්රා වොල්වාර්දිත් ලකුණු 18ක් ද, සිනාලො ජෆ්ටා ලකුණු 15ක් ද රැස් කළෝය.
විශිෂ්ඨ පන්දු යැවීමක නිරතවූ ඉනෝකා රණවීර ලකුණු 18කට කඩුළු 03ක් ලබා ගත්තාය. සුගන්ධිකා කුමාරි හා ඕෂධී රණසිංහ කඩුළු 02 බැගින් දවාලූහ. තරගයේ විරයා වූයේ ශ්‍රී ලංකා නායිකා චමරී අතපත්තුය.







