අවසන් තරගයේ මුල් දිනය අවසන්ය. ඕවල් ක්‍රීඩාංගනයේ අපේ සැලසුම මුල් දිනයේ දි නම් පට්ටම අසාර්ථතකය. වසර 26කට පෙර එනම් 1998 දි සනත් ලකුණු 213ක් මුරලි කඩුළු 09ක් ලබාගෙන කඩුළු 10කින් රට දිනවමින් ශ්‍රි ලංකා එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ වර්ණවත් සලකුණු තැබූ ඕවල් ක්‍රීඩාංගන භූමියේ අඳුරු කතාවක් ලියන්නට වන ලකුණු පහළ වෙමින් ඇති දැයි සිතමු.
ශ්‍රී ලංකා කණ්ඩායමක් කවදාවත් ඕවල් ක්‍රීඩාංගනයේ දී පැරදී නැත. ශ්‍රි ලංකා කණ්ඩායමක් කවදාවත් එංගලන්තය සමග ටෙස්ට් තරගාවලියක දි තරග 03ම පරැදී නැත. ඒ ඉතිහාස කතාවේ ගර්වය දැන් අභියෝගයකය.

එංගලන්ත කණ්ඩායම ලකුනු 221ට කඩුළු 03කි. කොතැනින් කෙළවර වනු ඇතිදැයි දැනට වැටහෙන්නේ නැත. ඔවුන් මෙම ඉනිම ක්‍රීඩා කරන්නේ එක්දින තරග රටාවට අනුගත වෙමිනි. ලකුණු 221ක් කඩුළු 03ක් දැවි ලබා ගන්නා විට ශ්‍රී ලංකා කණ්ඩායම යවා ඇත්තේ පන්දු ඕවර 44.1 කි. තරගය අයහපත් ආලෝක තත්ත්වය තුළ නවතා දමන විට යොවුන් නායක ඕලේ පෝප් පන්දු 103ක දී වේගවත් ලකුණු 103ක් ලබාගෙනය. ඔහු තවමත් නොදැවීය. ආරම්භක පිතිකරු බෙන් ඩකර්ට් පන්දු 79ක දී ලකුනු 86කි. හතරේ පහර 09කි. හයේ පහර දෙකකි.
මුලින්ම කිව යුත්තේ වේග පන්දු යවන්නන් හතරක් සහිතව තරගයේ කාසියේ වාසිය ලබාගෙන මුලින්ම පන්දු රැකීම තේරූ ශ්‍රී ලංකා කණ්ඩායමේ සැලසුම කුඩු වී ඇති බවය.
වේග පන්දු යවන්නන් සිවු දෙනාටම එංගලන්ත පිතිකරුවන් පහර දුන් ආකාරය අපේක්ෂා සුන් කරවන්නේය. බෙන් ඩකර්ට් අවස්ථා දෙකක දී කඩුල්ල නිරාවරණය කරමින් කඩුළු රකින්නාගේ හිසට ඉහළින් පහර එල්ල කළ ආකාරය ඔලේ පෝප් දඟ පන්දු යවන්නන්ට පහර දෙන්නා සේ තණතීරුවේ ඉදිරියට පැමිණ අපේ වේග පන්දු යවන්නට පහර එල්ල කරන ආකාරය තරගය බලන අපව තිගැස්සුවේ ය.

පන්දු යැවීමේ දී පන්දු ඕවර 12.1 යවා ලකුණු 81කට ලහිරු කුමාර කඩුළු 02ක් ලබාගෙන ඇත. පන්දු ඕවර 08ක් යවා ලකුණු 34කට මිලාන් රත්නායක කඩුලු 1ක් ලබාගෙන ඇත. අසිත ප්‍රනාන්දු පන්දු ඕවර 14ක් යවා ලකුණු 58ක් ද විශ්ව ප්‍රනාන්දු පන්දු ඕවර 7ක් යවා ලකුණු 29ක් ද ලබා දී තිබේ.
ප්‍රභාත් ජයසූරිය නැති තරගය කෙසේ ඇදගනී ද?
අපි උපේක්ෂාවෙන් බලාගෙන හිඳිමු.







