අවසානයේ ප්‍රාර්ථනා කළ ජයග්‍රහණය ලැබුනේය. ඒ අතිශයින්ම තියුණු සටනකින් පසුය. ලකුණු 218ක ඉලක්කයක් ලබා දුන් විට අපට හිතෙන්නේ ජයග්‍රහණය අතේ කියාය. එහෙත් නවසීලන්ත කණ්ඩායමේ අත් නොහරින සටන්කාමී හඹා යෑම ලකුණු 211ක් පමණ දිගු වුනේය.
අවසානයේ දී ශ්‍රි ලංකා කණ්ඩායම ලකුණු 07ක විශිෂ්ට ජයග්‍රහණයක් ලැබුවේය.

නෙල්සන්හි සැක්ටන් ඕවල් ක්‍රීඩාංගනයේ දී පැවති තරගයේ කාසියේ වාසිය දිනුවේ නවසීලන්ත කණ්ඩායමය. ඔවුහු පන්දු රැකීම තේරූහ. තණතීරුව සහ වළාකුළු පිරි අහසේ ස්වරූපය අනුව ආරම්භය වේග පන්දු යවන්නනට යහපත් බව පෙනුණි. තණ තීරුව තිබුණේ පිතිකරණයට හොඳ මට්ටමේය.
නවසීලන්ත කණ්ඩායම තරග කළේ කණ්ඩායම නොවෙනස්වය. ශ්‍රී ලංකාව විසින් පතිරණ සහ කමිඳු ඉවත් කර තිබිණි. භානුක රාජපක්ෂ නැවත කණ්ඩායම තුළට කැඳවා තිබිණි. චමිදු වික්‍රමසිංහද කණ්ඩාමට එක් වූයේය.
පන්දුවට පහර දෙන්නට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් කඩුල්ල ලෙස පැතුම් නිශ්ශංක දැවී යන විට මුලු ලකුණු සංඛ්‍යාව 24කි. මැට් හෙන්රි ගේ පන්දුවකට කඩුළු රකින ක්‍රීඩක මිචෙල් හේ අතට උඩ පන්දුවක් ලබා දීමෙනි.
ඒ නායක මිචෙල් සැන්ට්නර් ගේ පන්දුවකට මිචෙල් බ්‍රෙක්වෙල් රැකගත් උඩපන්දුවකිනි. ඔහු දැවී යන්නේ තුන්වැනි ඕවරයේ 5 වැනි පන්දුවේ දී ය. පස්වන ඕවරයේ අවසන් පන්දුවේ දී කුසල් මෙන්ඩිස් ද දැවී ගියේය. ඒ වනවිට ශ්‍රි ලංකා ලකුණු පුවරුව ලකුණු 42කි.
යළිත් මැද පෙළ ක්‍රීඩක අවිශ්ක ප්‍රනාන්දු සාර්ථක වූයේ නැත. ඔහු ලකුණු 17කට දැවී යන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව ලකුණු 83කි. අවිශ්ක දැවී යන්නේ දස වැනි ඕවරයේ දෙවැනි පන්දුවේ දීය.

තරගය නවසීලන්තය අන්ද මන්ද වන්නේ ඉන් අනතුරුවය. කුසල් ජනිත් සමග චරිත් අසලංක එක් වූයේය. එතැන් සිට අප දකින්නේ පන්දු යවන්නන් අන්ද මන්ද වී පන්දු රකින්නන් නරඹන්නන් වන අන්දමය. කුසල් පෙරේරා ලකුණු 15 දී ලබා දුන් අවස්ථාව මගහැරී ගියේ අද ඔහුගේ දිනය බව පෙන්වමිනි. පන්දු 49ක් තුළ ලකුණු 100ක සම්බන්ධතාවයක් කුසල් ජනිත් සහ චරිත් අසලංක අතර ගොඩනැගිනි. ඒ 4 වැනි කඩුල්ල වෙනුවෙනි. චරිත් අසලංක ලකුණු 46ක් ලබුවේය. ඒ පන්දු 24ක් තුළය. ඔහු ඒ ලකුණු 46ට හයේ පහර 05ක් එල්ල කළේය. ඊට හතරේ පහර එකකි.
මනරම් පිතිකරණයක යෙදුන කුසල් ජනිත් පෙරේරා පන්දු 46ක දී සිය ලකුණු 101ක් ලබමින් ශ්‍රී ලංකා එක්දින ඉතිහාසයේ වේගවත්ම ශතකය වාර්තා කළේය. ඊට හතරේ පහර 13කි. හයේ පහර 4කි. ඔහු විස්සයි 20 තරගවලදී ලකුණු 2000 පසුකළ පළමු ක්‍රීඩකයා විය. කුසල් පෙරේරා දැන් විස්සයි 20 ඉනිම 76ක දී ලකුණු 2056ක් රැස් කරගෙන ඇත්තේය. එමෙන්ම කුසල් විස්සයි 20 තරගය දී ශතක ලාභී තෙවැනි ශ්‍රී ලාංකික ක්‍රීඩකයා ලෙස ද වාර්තා පොතට එක් විනි. ඔහුට පෙර විස්සයි 20 අන්තර්ජාතික ශතක ලබාගෙන ඇත්තේ මහෙල ජයවර්ධන සහ තිලකරත්න ඩිල්ෂාන් පමණය.
ඕවර 20 අවසානයේ දී අතිශය තියුණු ලකුණු 219ක ඉලක්කයක් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් නවසීලන්ත කණ්ඩායමට දුන්නේය. පන්දු යැවීමේ දී බොහෝ සේ ගුටි කෑමට ලක් වූ නවසීලන්ත පන්දු යවන්නන් අතරනි මැට් හෙනරි, ජාකොබ් ඩුෆී, සකාරි ෆොල්කස්, මිචෙල් සැන්ට්නර් සහ ඩැරිල් මිචෙල් කඩුල්ල බැගින් ලබා ගත්හ.

පන්දුවට පහර දීමට පැමිණි නවසීලන්ත කණ්ඩායම ද අභියෝගය ඒ අයුරින්ම ගත්හ. ආරම්භක පිතිකරුවන්වන ටිම් රොබින්සන් ලකුණු 37කි. ඒ පන්දු 21ක් තුළය. රචින් රවින්ද්‍ර පන්දු 39ක දී ලකුණු 69කි. මුල් කඩුල්ල බිඳී යන්නේ 8 වැනි ඕවරයේ 2වැනි පන්දුවේ දී ය. ඒ වනවිට නවසීලන්ත කණ්ඩායම ලකුණු 81කි. ඔවුන් අවශ්‍ය වේගය පවත්වාගෙන යමිනි. චරිත් අසලංක හමුවේ මාරක් චැප්මන් ලකුණු 09කට සහ ග්ලෙන් පිලිප්ස් 06කට දැවී යද්දී ඩැරිල් මිචෙල් බිිහිසුණු ප්‍රහාරයක් එල්ල කරමින් බලා සිටින අප අන්දමන්ද කළේය. ඔහු පන්දු 17ක් තුළ ලකුණු 35ක් ලැබුවේය. ඒ සිය සිවු වන ඕවරය ලෙස තරගයේ 15 වැනි පන්දු ඕවරය යැවූ චරිත් අසලංකට පිට පිටම හයේ පහර හතරක් එල්ල කරමිනි. චරිත් ගේ ඒ පන්දු ඕවරය තුළ නවසීලන්ත කණ්ඩායම ලකුණු 25ක් රැස් කළේය. 15 වැනි පන්දු ඕවරය අවසන් වනවිට ලකුණු 168ට කඩුළු 4කි. පන්දු 30ක දී ලකුණු 51ක් ජයග්‍රහණය සඳහා ලබා ගැනිමට තරම් නවසීලන්ත කණ්ඩායම ජයග්‍රහණය ආසන්නයට ආවේය.
මේ වනවිට තරගය යළිත් දෙපිලටම විවෘත වී පැවතිනි.
16 වැනි පන්දු ඕවරය යැවීමට කැඳවන්නේ වනිඳු හසරංග ය. සිය මුල්ම පන්දුවේ දීම වනිඳු ගේ පන්දුව මිචෙල් හේ ගේ කඩුල්ල කුඩු කළේය. අනතුරුව පිටියට පැමිණි මිචෙල් බ්‍රැක්වෙල් අසලංකගේ තරග දිනවන ආකාරයේ විශිෂ්ඨ උඩපන්දු රැකීමකින් ලකුණු නොලබා ඉනිම හමාර කළේය. 16 වැනි ඕවරයේ ලකුනු 2ක් පමණක් ලබා දුන් හසරංග කඩුළු 02ක් බිඳ හෙලා තරගය ලංකාව පැත්තට හැරෙව්වේය.

17 වැනි පන්දු ඕවරය යවන නුවන් තුෂාර සිය දෙවැනි පන්දුවේ දී නවසීලන්ත කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යෑමට දැවැන්ත ප්‍රහාරයක් දියත් කරමින් සිටි ඩැරිල් මිචෙල් නුවන් තුෂාර ගේ පන්දුවකට චමිදු වික්‍රමසිංහ වෙත උඩ පන්දුවක් දී දැවී ගියේය.
අනතුරුව සකාර ෆොල්කස් මිෂෙල් සැන්ටර් අවසන් පන්දු ඕවර තුන තුළ දැරූ උත්සාහය සාර්ථක වන්නේ නැත. නවසීලන්ත කණ්ඩායම ලකුණු 211කට සීමා වන්නේය.
පන්දු යැවිමේ දි චරිත් අසලංක ලකුනු 50කට කඩුලු 03ක්. වනිඳු හසරංග ලකුණු 38කට කඩුලු 02ක්, බිනුර ප්‍රනාන්දු ලකුණු 43කට කඩුල්ලක් සහහ නුවන් තුෂාර ලකුණු 33ට කඩුල්ලක් ලැබුවේය.
තරග ඉතිහාසය අලුත් කළ තරගයක් ලෙස අවසන් විස්සයි 20 තරගය නිමා වන්නේය. ශ්‍රී ලංකාා නවසීලන්ත විස්සයි 20 ඉතිහාසයේ වැඩිම ලකුණු සංඛ්‍යාවේ එකතුව දිස් වන්නේ මේ තරගයේ දි ය. පන්දු ඕවර 40 තුළ දෙපිලම රැස්කළ ලකුණුවල එකතුව ලකුණු 429කි.
තරගයේ වීරයා කුසල් ජනිත් පෙරේරාය. තරගාවලියේ වීරයා තරගාවලිය තුළ කඩුළු 08ක් රැස් කළ ජාකොබ් ඩුෆී ය. එක්දින තරගාවලිය ජනවාරි 05 වැනිදා ආරම්භ වන්නේය. අප දැන් ඒ තරගයට යන්නේ ජයග්‍රාහී මානසිකත්වයක් රැගෙනය.







