ඉතාම අප්රසන්න පරාජයක් ලබමින් ශ්රී ලංකා කණ්ඩායම ආසියානු කුසලානයට ප්රවේශ වූයේය. ඒ ඇෆ්ගනිස්ථානය හමුවේ කඩුළු 08ක බිහිසුණු පරාජයක් ලබමිනි. පන්දු 120ක් වූ විස්සයි විස්ස ඉනිමක පන්දු 59ක් ඉතිරිව තිබිය දී පරාජයට පත්වීම විග්රහකරගත යුතු ආකාරය කාට පහසු වුනත් ක්රිකට් ප්රේක්ෂකයන්ට පහසු නැත.
විස්සයි විස්ස තරගයක ජය පරාජය දෝලනය විය හැකි ආකාරය ගැන පූර්ව නිගමනයකට එළඹිය නොහැකි බව සැබෑය. එහෙත් පරාජයට තර්කයක් තිබිය යුතුය..
ශ්රී ලංකා කණ්ඩායම පන්දු ඕවර 19.4ක දී සියලු දෙනා දැවී ලබාදුන් ලකුණු 106ක ඉලක්කය පන්දු ඕවර 10.1 දී කඩුළු 02ක් පමණක් දැවී ලබා ගන්නට ඇෆ්ගනිස්තානුවෝ සමත් වූහ. ඔවුන්ගේ පන්දු ඕවරයකට ලකුණු රැස් කිරීමේ දල වේගය 10.42කි.
කාසිය වාසිය දිනූ ඇෆ්ගනිස්තානය පළමුවෙන් පන්දු රැකීම තෝරා ගත්තේය . ශ්රී ලංකා කණ්ඩායමේ පිතිකරණය පැවතුනේ පාසල් කණ්ඩායමකටත් වඩා ටිකක් පහළිනි. ඇෆ්ගන් පන්දු යවන්නන් හමුවේ කෘතහස්ථ අත්දැකීම් බහුල ක්රීඩකයින් පඩංගු වී ගියේය.
ශ්රී ලංකා කණ්ඩායමට පන්දු වාර 19.4ක් තුළ සියල්ලෝ දැවී ගියහ. ඉලක්කය ලකුණු 105ක් පමණක් වීම හිතාගත නොහැකි විය. ඇෆ්ගනිස්තානු පන්දු යවන්නන් හමුවේ භානුක රාජපක්ෂට සහ චාමික කරුණාතරන්ට හැරෙන්නට ලංකාවේ පිතිකරුවන් කිසිවෙකුට ලකුණු 20 සීමාව ඉක්මවිය නොහැකි විය. චරිත් අසලංක, දසුන් ශානක ලකුණු නොලබා පිටියෙන් ඉවත් විය. පැතුම් නිශ්ශංක 03කි. කුසල් මෙන්ඩිස් 02කි. වනිඳු හසරංග 2කි. මහීෂ් තීක්ෂණ ලකුණු ලැබුවේ නැත. ධනුෂක ගුණතිලක පමණක් ලකුණු 17ක් ලැබුවේය. හුදෙකලා ඉනිමක් ක්රීඩා කළ භානුක රාජපක්ෂ ලකුණු 38ක් රැස් කර ගැනීමට සමත් විය. ඔහු දුවද්දී දැවී ගියේය. චාමික කරුණාරත්න, ලකුණු 31ක් රැස් කළේය.
පන්දු යැවීමේ දී ශ්රී ලංකා ඉනිම විසුනු කළේ ෆසල්හක් ෆාරුක් ය. ඔහු පන්දු ඕවර තුනයි පන්දු හතරක් තුළ ලකුණු 11ට කඩුලු 3ක් බිඳ හෙළුවේය. මොහොමඩ් නබි ලකුණු 14ට කඩුලු 02ක්, මුජීබ් අක්රම් ලකුණු 24ට කඩුලු 02ක්, නවීන් උල් හක් ලකුණු 23ට කඩුල්ලක් දවා ගත්තේය.
පිළිතුරු ඉනිම ක්රීඩා කිරීමට පැමිණ ඇෆ්ගන් පිතිකරුවෝ ශ්රී ලංකා පන්දු යන්නන් ළදරුවෝ කළහ. ඒ ප්රහාරය බලා සිටින අපටත් දරා ගත හැකි එකක් වූයේ නැත.
ආරම්භක පිතිකරු රහමනුල්ලා ගුල්බාස් පන්දු 18ක දී ලබාගත් ලකුණු 40 ශ්රී ලංකා පන්දු රකින්නන් නරඹන්නන් පිරිසක් බවට පත් කළේය. ආරම්භක පිතිකරු හස්රතුල්ලා සසායි පන්දු 28ක දී ලකුණු 37ක් ලැබුවේය. ඔවුන් දෙන්නා ආරම්භක කඩුල්ල වෙනුවෙන් ලකුණු පන්දු 37ක් තුළ ලකුණු 83ක සම්බන්ධතාවයක් ගොඩනැගූහ. ලකුණු 15ක් ලබා සිටි ඊබ්රහීම් සඩ්රාන් දුවද්දී දැවී ගියේය.
ඩිල්ෂාන් මධුසංක යැව්වේ පන්දු ඕවරයක් පමණි. ලකුණු 10ක් ලබා දුන්නේය. මහීෂ් තීක්ෂණ හොඳටෝම ගුටි කෑවේය. පන්දු ඕවර 4 තුළ ලකුණු 35ක ලබා දුන්නේය. කඩුලු ගත්තේ නැත . ඔහුගේ දෙවැනි පන්දු ඕවරයක ඇෆ්ගනිස්තානුවෝ ලකුණු 21 ක් ලබා ගත්හ. මහීෂ පතිරණ යැව්වේ එක් පන්දුවාරයකි. ලකුණු 16ක් ලබා දුන්නේය. ලබා ගත් එකම කඩුල්ල වනිඳු හසරංග ලබා ගත්තේය. ඔහු පන්දු ඕවර 03ක් යවා ලකුණු ලකුණු 19ක් ලබා දුන්නේය. චාමික කරුණාරත්න යැවූ එකම පන්දු ඕවරයේ ලකුණු 20ක් ලබා ගන්නට ඇෆ්ගන් පිතිකරුවන්ට හැකි විය.
කුජීත පරාජයක් සමගින් යළිත් හිස එසවීමේ අමාරු තැනකට දල ලකුණු ලබා ගැනීමේ වේගය ගිල්වා දමා ඇෆ්ගනිස්ථානුවෝ ජයග්රහණය අත්කරගත්හ.
ඒ පරාජයට තර්ක කර සොයා ගත හැකි කිසිම පිළිතුරක් නැති බව කිව යුතුව ඇත.







