DSI සැම්සන් සමූහයේ අධ්‍යක්ෂ මණ්ඩලය අතර මේවන විට දැඩි මත ගැටුමක් ඇතිව ඇතැයි වාර්තා වේ.
මෙරට තිබෙන විශාලතම පුද්ගලික සමාගම්වලින් එකක් වන මේ ව්‍යාපාරය සතුව සමාගම් 30ක් පමණවන අතර හිටපු කළමනාකාර අධ්‍යක්ෂවරයකු විසින් අදාළ සමාගමේ කොටස් පවුලේ සාමාජිකයන් අතර සාධාරණව බෙදා වෙන්කකරගැනීමට ඉදිරිපත් කරණ ලද යෝජනාවක් සමඟ මේ ගැටුම් ආරම්භවී ඇති බව පැවසේ.
හිටපු කළමනාකාර අධයක්ෂවරයා එම යෝජනාව DSI සැම්සන් සමූහයේ අධ්‍යක්ෂ මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇත්තේ පසුගිය (2023) අප්‍රේල් මුල් සතියේදීය.
මේ සමාගමේ ලාභ ලබන ප්‍රධානම සමාගම් කිහිපය මෙහෙයවනු ලබන්නේ අදාළ කළමනාකාර අධ්‍යක්ෂවරයාගේ පුත්‍රයන් විසින් බවද පැවසේ.
එම සමාගම් සමූහයේ කළමනාකාර අධ්‍යක්ෂ කසුන් රාජපක්ෂ හා සෙසු අධ්‍යක්ෂවරුන් වන තුසිත රාජපක්ෂ, අසංක රාජපක්ෂ, රොහාන් සෝමවංශ, භාතිය අමරකෝන් හා නෙලානි රාජපක්ෂ මේ ගැටුමට මුල්ව ඇති බවට මේවන විට චෝදනා එල්ලව තිබේ.
මේ අතර, මෙහි අධ්‍යක්ෂවරයකු වන සජිත් රාජපක්ෂ තමන් විසින්ම සැලසුම් කළ බවට චෝදනා ලද වෙඩි තැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර තිබිණි.
ඒ අතරතුර කාලයේදී ඔහුව අධ්‍යක්ෂ මණ්ඩලයේ දැරූ ධූරවලින් ඉවත් කිරීමට ද කටයුතු කර ඇති බව අධිකරණයට වාර්තා කර ඇත.
එම අධ්‍යක්ෂ මණ්ඩලය සජිත්ව DSI සැම්සන් සමූහයේ සමාගම් 3ක කළමනාකාර අධ්‍යක්ෂ ධූරයෙන්ද, සෙසු සමාගම් 5ක අධ්‍යක්ෂ ධූරයෙන්ද ඉවත් කර ඇති අතර ඔහු අධිකරණයට කරුණු දැක්වීමෙන් පසුව අදාළ ධූරවල ඔහුව නැවත ස්ථාපනය කිරීමට ද අධිකරණය නියෝගකර ඇති බව මේ අතර වාර්තා වේ.
මේ ගැටුම් සම්බන්ධයෙන් මේවන විට එහි කළමනාකාර අධ්‍යක්ෂ කසුන් රාජපක්ෂ හා තුසිත රාජපක්ෂ අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව අධිකරණ කිහිපයක නඩු පවරා තිබේ.