වේයන්ගොඩදී අත්අඩංගුවට ගත් වැලිකඩ පොලිස් ස්ථානාධිපතිවරයා ලබන 09 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම නියෝග කර තිබේ. ඒ, චීන ජාතිකයන් 19 දෙනෙකුගේ විදේශ ගමන් බලපත්‍ර නීතිවිරෝධී ලෙස රඳවා තබාගෙන, ඒවා නැවත ලබාදීම සඳහා එක් අයෙකුගෙන් රුපියල් ලක්ෂ 03 බැගින් කප්පම් ඉල්ලීමේ බරපතල චෝදනාව මතය.
මේ මස මුලදී රාජගිරිය මැද වැලිකඩ පාරේ පිහිටි හෝටලයක සිදුකළ වැටලීමකදී, අන්තර්ජාල ජාවාරමක යෙදී සිටි චීන ජාතිකයින් 96 දෙනෙකු අත්අඩංගුවට ගැනුණි. එම අවස්ථාවේදී එතැනින් පලාගිය චීන ජාතිකයන් 19 දෙනෙකුගේ ගුවන් ගමන් බලපත්‍ර පොලිසිය සතු වී තිබේ.
අදාළ ගුවන් ගමන් බලපත්‍ර 19 තමන් භාරයට ගෙන ඇති වැලිකඩ පොලිස් ස්ථානාධිපතිවරයා, කාන්තාවක මාර්ගයෙන් එම චීන ජාතිකයන් සම්බන්ධ කරගෙන ඇත. පසුව ගමන් බලපත්‍ර නැවත ලබාදීමට නම් එක් අයෙකුගෙන් ලක්ෂ 3 බැගින්, රුපියල් ලක්ෂ 57 ක මුදලක් කප්පම් ලෙස ඉල්ලා ඇති බව විමර්ශනවලදී හෙළි විය.
මෙම අපරාධය සම්බන්ධයෙන් අපරාධ හා රථවාහන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු සහ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කමල් ආරියවංශ යන නිලධාරීන්ට තොරතුරක් ලැබී තිබිණි. ඒ අනුව වැලිකඩ පොලිසිය තුළ සෝදිසියක් කළද එම ගුවන් ගමන් බලපත්‍ර සොයා ගැනීමට නොහැකි වූ අතර, පසුව ස්ථානාධිපතිවරයා විසින්ම ඒවා භාර දී තිබේ.
ඒ අනුව, මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයට අනුයුක්ත මූල්‍ය හා වාණිජ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රාජිත වර්ණප්‍රිය ඇතුළු කණ්ඩායමක් විසින් ඊයේ දිනයේදී සැකකාර පොලිස් ස්ථානාධිපතිවරයාව වේයන්ගොඩදී අත්අඩංගුවට ගෙන අද අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.







