ඩොනල්ඩ් ට්‍රම්ප් විදේශ මානුෂීය ආධාර සඳහා වන එක්සත් ජනපද අරමුදල්වලින් වැඩි ප්‍රමාණයක් කපා හැරීමට ගත් පියවර හේතුවෙන් 2030 වන විට තවත් මිලියන 14 කට වඩා මරණ සිදුවිය හැකි බව ද ලැන්සෙට් වෛද්‍ය සඟරාවේ ප්‍රකාශයට පත් කරන ලද පර්යේෂණයක් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
මරණ අවදානමට ලක් වී ඇති ප්‍රජාවෙන් තුනෙන් එකක් නොමේරූ ළදරුවන් බවද එම පර්යේෂණයෙන් හෙළි වී ඇතැයි බීබීසී ය පවසයි.
ජනාධිපති ට්‍රම්ප්ගේ පරිපාලනය ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද ඒජන්සියේ හෙවත් USAID හි සියලුම වැඩසටහන් වලින් 80% කට වඩා අවලංගු කර ඇති බව එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ මාර්තු මාසයේදී පැවසීය.
“එහි ප්‍රතිඵලයක් ලෙස ඇතිවන කම්පනය ගෝලීය වසංගතයකට හෝ ප්‍රධාන සන්නද්ධ ගැටුමකට පරිමාණයෙන් අඩු සහ මධ්‍යම ආදායම් ලබන රටවලට බලපානු ඇත,” ලැන්සෙට් වාර්තාවේ සම-කර්තෘ ඩේවිඩ් රසෙල්ලා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.
අරමුදල් කප්පාදුව ලෝක සෞඛ්‍ය ක්ෂේත්රයේ දශක දෙකක ප්‍රගතිය හදිසියේම නතර වීමට සහ ආපසු හැරවීමට පවා අවදානමක් ඇති කරයි” යනුවෙන් බාර්සිලෝනා ගෝලීය සෞඛ්‍ය ආයතනයේ පර්යේෂක රසෙල්ලා තවදුරටත් ප්‍රකාශ කර ඇත.
මෙම වාර්තාව පැමිණෙන්නේ එක්සත් ජාතීන්ගේ නායකත්වයෙන් යුත් ආධාර සමුළුවක් සඳහා මේ සතියේ ස්පාඤ්ඤයේ සෙවිල් නගරයේ දුසිම් ගනනක් ලෝක නායකයින් රැස්වන අතරතුර ය.
රටවල් 133 ක පසුගිය වකවානුවේ දත්ත නිරීක්ෂණය කරමින් පර්යේෂකයන් කණ්ඩායම ඇස්තමේන්තු කළේ USAID අරමුදල් 2001 සහ 2021 අතර සංවර්ධනය වෙමින් පවතින රටවල මරණ මිලියන 91 ක් වළක්වා ඇති බවය.
මෙම වසර මුලදී එක්සත් ජනපද රජය විසින් ප්‍රකාශයට පත් කරන ලද පරිදි 83% කින් අරමුදල් කපා හැරීම මරණ අනුපාතවලට බලපාන්නේ කෙසේද යන්න ප්රක්ෂේපණය කිරීමට ඔවුන් විසින් නිර්මාණය කර ඇති ආකෘතියෙන් හෙළිදරව් වී ඇත්තේ 2030 වන විට වළක්වා ගත හැකි මරණ මිලියන 14 කට වඩා වළක්වා ගත නොහැකිවන බවය. එම සංඛ්‍යාවට වයස අවුරුදු පහට අඩු ළමුන් මිලියන 4.5 කට වඩා ඇතුළත් වන බවත් එම ප්‍රක්ෂේපිත දත්ත හෙළිදරවු කර ඇත. එනම් වළක්වා ගත හැකි ළමා මරණ ලක්ෂ 7ක් මේ ආධාර කප්පාදුවෙන් වළක්වාගත නොහැකිවන බවය.
ලොව විශාලතම මානුෂීය ආධාර සපයන්නා වන ඇමරිකා එක්සත් ජනපදය, බොහෝ දුරට දෙවැනි පාර්ශවයක් හරහා රටවල් 60 කට වැඩි ගණනක ක්‍රියාත්මක වී ඇත.
පසුගිය මාසයේ, එක්සත් ජාතීන්ගේ නිලධාරියෙකු බීබීසී වෙත පැවසුවේ, එක්සත් ජනපද අරමුදල් කප්පාදුව ආහාර සලාක අවම මට්ටමට අඩු කිරීමෙන් පසු ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් කෙන්යානු සරණාගත කඳවුරුවල කුසගින්නේ සිටින බවයි.







