ලබන වසරේ සිට මෙරටට ගල්අඟුරු ආනයනය කිරීම සඳහා අතිශය දැඩි සහ නව කොන්දේසි මාලාවක් හඳුන්වා දීමට රජය පියවර ගෙන තිබේ. බාල ප්‍රමිතියෙන් යුත් ගල්අඟුරු මෙරටට ගෙන ඒම මුළුමනින්ම වැළැක්වීමේ අරමුණින් නව ටෙන්ඩර් පටිපාටියට මෙම දැඩි පිරිවිතරයන් ඇතුළත් කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක ප්‍රකාශ කළේය.
නොරොච්චෝල ලක්විජය ගල්අඟුරු බලාගාරය වෙනුවෙන්, මෙට්‍රික් ටොන් 60,000 බැගින් වූ ගල්අඟුරු නැව් තොග 25ක් මිලදී ගැනීම සඳහා වන නව ටෙන්ඩරය මේ වන විටත් ප්‍රකාශයට පත් කර ඇති බව අමාත්‍යවරයා උපුටා දක්වමින් සන්ඩේ ටයිම්ස් වාර්තා කර ඇත.
මීට පෙර ක්‍රියාත්මක වූ ක්‍රමවේදය අනුව ගල්අඟුරු සැපයුම්කරුවන් විසින්ම ලබා දෙනු ලබන වරාය වාර්තා (Load-port reports) මත පදනම්ව ගනුදෙනු සිදු වුවද, මින් ඉදිරියට ගල්අඟුරු පටවන වරායේදීම එහි තත්ත්වය, ගුණාත්මකභාවය සහ පැටවීමේ ක්‍රියාවලිය සනාථ කරන නිල වාර්තාව සෘජුවම ශ්‍රී ලංකාව විසින්ම ලබා ගැනීමට කටයුතු සූදානම් කර ඇත.
එමෙන්ම නව ටෙන්ඩර් කොන්දේසි යටතේ සුදුසුකම් ලැබීම සඳහා සැපයුම්කරුවන් විසින් ලොව වෙනත් රටවලට අවම වශයෙන් ගල්අඟුරු මෙට්‍රික් ටොන් මිලියන 2ක් හෝ සැපයූ ඉතිහාසයක් සහ පළපුරුද්දක් පෙන්නුම් කළ යුතුය. දැනට පවතින ක්‍රමවේදය අනුව ඒ සඳහා අවශ්‍ය වන්නේ මෙට්‍රික් ටොන් මිලියන 1ක සැපයුම් ඉතිහාසයක් පමණි.
මීට අමතරව, ඉදිරියේදී ආනයනය කරනු ලබන ගල්අඟුරු සඳහාවන දල තාප දායක අගය හෙවත් Gross Calorific Value (GCV) ප්‍රමාණය 5900 සිට 6000 දක්වා ඉහළ නැංවීමටද තීරණය කර ඇත. දල තාප දායක අගය (GCV) ඉහළ මට්ටමක පැවතීම යනු ගල්අඟුරු ඒකක බරකින් නිපදවිය හැකි බලශක්ති ප්‍රමාණය ඉහළ යාමය.
ලියාපදිංචි සැපයුම්කරුවන්ගෙන් පමණක් මිලදී ගැනීම වෙනුවට, විවෘත ටෙන්ඩර් පටිපාටියක් හරහා සුදුසුම සැපයුම්කරුවන් තෝරා ගැනීමට නව ක්‍රමවේදය මඟින් අවස්ථාව සැලසෙන බවත්, එමඟින් වෙළෙඳපොළ තුළ වැඩි තරගකාරීත්වයක් ඇති වී රටට උපරිම වාසිදායක මිලක් සහ තත්ත්වයක් තෝරාගත හැකි වන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
මේ අතර හදිසි සැපයුම් ලෙස මිලදී ගන්නා ලද ගල්අඟුරු නැව් පහෙන් එකක අධික අළු ප්‍රමාණයක් (High ash content) අඩංගු බවට අනාවරණය වී තිබේ. ඒ අනුව අදාළ තොගය සැපයූ සමාගමට එරෙහිව දඩ පැනවීමට රජය තීරණය කර ඇත.
පසුගිය කාල වකවානුව තුළ බාල ප්‍රමිතියෙන් යුත් ගල්අඟුරු නැව් 18ක් මෙරටට ආනයනය කිරීම හේතුවෙන් රජයට ඇමෙරිකානු ඩොලර් මිලියන 37ක දැවැන්ත මූල්‍ය අලාභයක් සිදුව ඇති බව පෙන්වා දෙන අමාත්‍ය අනුර කරුණාතිලක, එම පාඩුව පියවා ගැනීම සඳහා අදාළ සැපයුම්කරුවන්ට දැඩි දඩ මුදල් පනවා එම මුදල් නැවත අය කර ගැනීමට කටයුතු කරන බවද අවධාරණය කළේය.







