හැකි නම් පළාත් සභා ඡන්දය කල් නොදමා දැන්ම පවත්වන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත සෘජු අභියෝගයක් ඉදිරිපත් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අවධාරණය කරයි.
මෙය හුදු දේශපාලන ප්‍රකාශයක් පමණක් නොව, ආණ්ඩුවේ ජනතා ප්‍රසාදය උරගා බැලීම සඳහා තමන් සිදුකරන සැබෑ අභියෝගයක් බවත්, ඉදිරි පළාත් සභා මැතිවරණයෙන් පසු එළඹෙන මැයි රැලිය සමගි ජන බලවේගයේ මහ ඇමතිවරුන් සමග සමරන බවත් හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය. විපක්ෂ නායකවරයා මේ බව පැවසුවේ අද (01) කොළඹ මාලිගාවත්ත පී.ඩී. සිරිසේන ක්‍රීඩාංගණයේදී පැවැති සමගි ජන සන්ධානයේ මැයි දින රැලිය අමතමිනි.
වත්මන් පාලනය පිළිබඳ දැඩි විවේචනයක් එල්ල කරමින් ඔහු කියා සිටියේ, අද වන විට මේ දුර්දාන්ත ජනතා විමුක්ති පෙරමුණු රජය සියලු ආයතන සහ අධ්‍යාපනය විනාශ කර ඇති බවය. වරායෙන් කන්ටේනර් පන්නමින් සහ බාල ගල්අඟුරු ගෙන්වමින් සිදුකළ මහා පරිමාණ දූෂණ සම්බන්ධයෙන් රජය මෙතෙක් වගකීමක් ගෙන නොමැති බවත්, රටේ සම්පත් ඩොලර් ලක්ෂ 25ක් හොරාකා ඇති බවත් ඔහු චෝදනා කළේය. හොරු අල්ලන බව පවසා බලයට පැමිණි ආණ්ඩුව අද කරන්නේ අලුතින් හොරු නිර්මාණය කිරීම බවද හෙතෙම සඳහන් කළේය.
සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය යන පක්ෂ දෙක මේ වන විටත් එක්වී හමාර බව මෙහිදී අනාවරණය කළ විපක්ෂ නායකවරයා, මෙම මැයි රැලිය සඳහා හිටපු ජනාධිපතිවරයා සුබ පැතුම් පණිවිඩයක් යොමු කිරීම පිළිබඳව සිය ස්තූතිය පළ කළේය.
පක්ෂ දෙක එක්ව ඉදිරි ගමනක් යාම සඳහා හිටපු ජනාධිපතිවරයා කමිටුවක් යෝජනා කර තිබුණද, පක්ෂ දෙක දැනටමත් එක්වී ඇති බැවින් එවැනි කමිටු අවශ්‍ය නොවන බව ඔහු පෙන්වා දුන්නේය. ඇතැම් පිරිස් කමිටු හරහා මෙම එක්වීම කඩාකප්පල් කිරීමට උත්සාහ කළද, එවැනි කුමන්ත්‍රණකාරී ක්‍රියාවලට මින් ඉදිරියට ඉඩ නොතබන බවද ඔහු අවධාරණය කළේය.
ජනතාව මුහුණ දෙන ගැටලුවලට විසඳුම් ලබා දීමට තම සන්ධානය සූදානම් බව පැවසූ සජිත් ප්‍රේමදාස, දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාව අමතක කළ දේශපාලන සංස්කෘතිය වෙනුවට විසඳුම් සපයන නව දේශපාලන ක්‍රමයක් හඳුන්වා දෙන බව ප්‍රකාශ කළේය. සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා මෙසේ ද පැවසුවේය.

“අද මේ දුර්දාන්ත ජනතා විමුක්ති පෙරමුණු රජය ආයතන සියල්ලක්ම විනාශ කරලා, අධ්‍යාපනය විනාශ කළා, වරායේ ආරක්ෂාවට ගැහුවා කන්ටේනර් පන්නලා, ගල්අඟුරු හොරකම් කළා බාල ගල්අඟුරු ගෙනාවා අදටත් ඒ පිළිබඳව නිසි වගකීමක් කවුරුත් අරගෙන නෑ. අපේ රටේ සම්පත් ඩොලර් ලක්ෂ 25ක් හොරාකාලා තියෙනවා. කවුරුත් ඒක ගැන වගකීමක් බාරගෙන නෑ. මේක වැඩබැරි ආණ්ඩුවක් කියන එක තවත් අමුතුවෙන් ඔප්පු කරන්නට ඕනේ නෑ. මේ ආණ්ඩුව කිව්වේ හොරු අල්ලනවා කියලා. හැබැයි හොරු අල්ලනවායි කියපු ආණ්ඩුව අද කරන්නේ හොරු හදනවා, අලුතින් හොරු නිර්මාණය කරනවා. මතක තියාගන්න සමගි ජන බලවේගයේ අපේ සන්ධානය නොසිටින්න අදටත් පාසල් ළමයි අසභ්‍ය වීඩියෝ බලනවා, සමගි ජන බලවේගය නොසිටින්න අදටත් වරායෙන් කන්ටේනර් පන්නනවා, සමගි ජන බලවේගය නොසිටින්න අදටත් විදුලිබල ඇමති ඒ පුටුවේ ඉඳගෙන බාල ගල්අඟුරු ව්‍යාපෘතිය ක්‍රියාවට නංවනවා. සමගි ජන බලවේගය, සමගි ජන සන්ධානය නොසිටින්න අදටත් භාණ්ඩාගාරයෙන් බිලියන ගණන් හොරකම් කරනවා.
අපිට මතකයි ජනාධිපතිවරයා කියනවා රට විනාශ කරන්න චෞර වළල්ලක් නිර්මාණය වෙලාලු. රට විනාශ කරන කාර්ටෙල් එකක් නිර්මාණය වෙලාලු හැබැයි ඔක්කොටම වැඩිය භයංකාරයි පැලවත්තේ පච වළල්ල. පැලවත්තේ පච වළල්ල තමයි අලුත් හොරුන්ව නිර්මාණය කරන්නේ. මේ මැයි දිනේට අපි එනකොට අනෙකුත් මැයි දිනවලට වඩා වෙනස්. ජනතාවගේ මුහුණු දිහා බැලුවාම අලුත් බලාපොරොත්තුවක් තිබෙනවා, අලුත් අපේක්ෂාවක් තිබෙනවා. නියත වශයෙන්ම සමගි ජනබලවේග නායකත්වය තුළ මේ පච වැඩ කරන ආණ්ඩුව වෙනුවට වැඩ කරන, රට දියුණු කරන රාජ්‍ය පාලනයකට අපි මුළ පුරණවායි කියන එක මම ප්‍රකාශ කරන්න කැමතියි.
රටට අවශ්‍ය ජනතාවට විසඳුම්, ජනතාවට මුහුණ දෙන ගැටලුවලට උත්තර. අපි සූදානම් මේ උත්තර සපයන්න. අපේ රටේ ගොවි, ධීවර, කම්කරු, ග්‍රාමීය, නාගරික, වතු ප්‍රජාව දුගී දුප්පත් ජනතාව අද අන්ත අසරණභාවයට පත්වෙලා. කාන්තා පරපුර, තරුණ පරපුර, ළමා පරපුර, ළදරු පරපුර අද අන්ත අසරණභාවයට පත්වෙලා. අද මැද පන්තියට, වෘත්තියවේදීන්ට, වෘත්තිකයින්ට අද තමන්ගේ ප්‍රශ්නයට විසඳුමක් නැහැ. දිට්වා සුළි කුණාටුවෙන් වහලය තිබුණු ටකරම අහිමි වුණු අය ලක්ෂ 10 බලාපොරොත්තුවෙන් ඉන්නවා, ඉඩමක් නිවසක් අහිමි වුණ අය දෙනවායි කියපු රුපියල් කෝටිය ලැබෙනකන් බලන් ඉන්නවා. අද රටේ හැමෝටම දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් වුණු ජනතාව අමතක කරපු දේශපාලන සංස්කෘතියක් අද රටේ තිබෙන්නේ. අපි දේශපාලන පක්ෂයක් හැටියට අලුත් වෙන්න ඕනේ, නවීකරණය වෙන්න ඕනේ, සුපුරුදු රාමුවට කොටු වෙලා 76 වසරක පරණ දේශපාලන ක්‍රමය වෙනුවට විසඳුම් ලබා දෙන වැඩපිළිවෙලකට යොමුවෙන්න ඕනේ. ඒ නිසා සක්වල, හුස්ම වැඩසටහන් අපි ඉදිරියටත් ක්‍රියාත්මක කරනවා ඒ විතරක් නෙමෙයි ස්මාර්ට් රටක් ගොඩනගන්න සුහුරු ක්‍රමවේද අපි ක්‍රියාත්මක කරලා අලුත්ම ව්‍යාපෘතියක් හැටියට පාසල් පදනම තුළ AI අධ්‍යාපනය ලබා දෙන්නත් අපි ඒ වැඩපිළිවෙලත් ආරම්භ කරනවා.
සමගි ජන බලවේගය, සමගි ජන සන්ධානය අනිත් විපක්ෂත් සමග එකතු වෙලා අපි බොරු සහතික තිබුණු කථානායකව සති කිහිපයක් තුළ ගෙදර යැව්වා. ඒ විතරක් නෙමෙයි බාල ගල්අඟරු අපේ රටේ ලක්විජය බලාගාරයට යොමු කරපු ඇමතිවරයාවත් ගෙදර යැව්වා, ලේකම්වත් ගෙදර යැව්වා. විවිධ කණ්ඩායම් ඉන්නවා රජයේ කොන්ත්‍රාත් කරනවා, ආණ්ඩු වෙනුවෙන් විපක්ෂය ගැන එක එක කතා කියනවා. ඵළ ඇති රුකටයි ගල් ගහන්නේ. පැහැදිලිව මම කියන්න කැමති රට ගොඩනගන එකම බලවේගය සමගි ජන බලවේගයයි, සමගි ජන සන්ධානයයි. අපි මේ රටේ ප්‍රගතිශීලී සියලුම දෙනාත් සමග අත්වැල් බැඳගෙන ජනතා විමුක්ති පෙරමුණු පාලනය තුළ කඩා වැටුණු අපේ මේ දේශය ගොඩගන්නවා ගොඩගන්නවාමයි.

අපි ඉතාමත්ම සතුටු වෙනවා රනිල් වික්‍රමසිංහ මැතිතුමා අද අපේ මේ මැයි රැලියට සුබ පැතුම් පණිවිඩයක් එකතු කළා. ඒකට අපි ස්තූතිවත්ත වෙනවා. එතුමා යෝජනා කරලා තියෙනවා. එකට වැඩ කරන්න කමිටුවක් අවශ්‍යයි කියලා. මම මේ අවස්ථාවේ කියන්න කැමතියි දැන් කමිටු අවශ්‍ය නෑ. දැන් දෙගොල්ලේ එකතු වෙලා හමාරයි. අපි එකට වැඩ කරන්නේ මොකද සමහර විට ඔය කමිටුවල මේ එකතුවීම වළක්වන්නට ඇතුල් වන බොහොම සුළු කොට්ඨාසයක් ඉන්නවා. ඒ අයගේ බලාපොරොත්තුව අපේ මේ එකතුව කඩාකප්පල් කරන්නයි. අපි ඒ කඩාකප්පල්කාරී කුමන්ත්‍රණකාරීන්ට ඉඩ තබන්නේ නෑ. අපි අනිවාර්යයෙන්ම එකට එකතු වෙලා තමයි ඉදිරියට යන්නේ.
මම කියන්න කැමතියි අනුර කුමාර දිසානායක මැතිතුමාට අභියෝගයක් ඉදිරිපත් කරන්න කැමතියි පුළුවන්නම් පළාත් සභා ඡන්දය තියන්න. කල් අරගෙන නෙමෙයි දැන්ම තියන්න. මේක ප්‍රකාශයක් නෙමෙයි මේක අභියෝගයක්. මේ අතිසාර්ථක මැයි දින රැලිය ඔබ සියලු දෙනාගේම ශක්තිය තුළ සාර්ථක මැයි රැලියක් බවට පත්වුණා. පළාත් සභා මැයි රැලිය තියන්න අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමෝ ලබන වසරේ මැයි රැලිය තියන්නේ අපේ මහ ඇමතිවරුත් සමගයි කියන එක මම ප්‍රකාශ කරන්න කැමතියි.”







