ජාතික ඖෂධ නියාමන අධිකාරිය (NMRA), රාජ්‍ය ඖෂධ සංස්ථාව (SPC) හා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව (SPMC)මඟින් හා එම අර්ධ රාජ්‍ය ආයතනවල ඉහළ නිළධාරින් පසුගිය වසර දෙකක කාලය තුළ සිදු කරන ලද දූෂණ වංචා සම්බන්ධයෙන් සොයා බැලීමට විශේෂ ජනාධිපති කොමිෂන් සභාවක් පත් කරන ලෙස වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලිපියක් මඟින් දැනුම් දී තිබේ.
මෙහිදී ඔවුන් පහත කරුණු සම්බන්යෙන් අවධානය යොමු කරන්න යැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියි. ඖෂධ නියාමන අධිකාරිය මඟින් තත්ත්වයෙන් බාල ඖෂධ හා ශල්‍ය උපකරණ ගෙන්වීමත්, අසාදු ලේඛනගත කරන ලද සමාගම් සඳහා වක්‍රකාකාරයෙන් තාවකාලිකව බලපත්‍ර දිමත්, රට තුළ පවතින ඖෂධ හිඟය දඩමීමා කොට හදිසි ඖෂධ මිලදී ගැනීම් සඳහා තවකාලික බලපත්‍ර නිකුත් කිරීමත් වැනි කරුණු රැසක් පසුගිය කාලයේදී ජනමාධ්‍ය හරහා එළිදරව් විය.
සෞඛ්‍ය අමාත්‍යංශයට ඖෂධ සැපයීම වැඩි වශයේන සිදු කරන රාජ්‍ය ඖෂධ සංස්ථාව පසුගිය කොවිඩ් පාලන සමයේදී මෙරටට කොවිඩ් එන්නත ගෙන්වීම ඇතුළු ඖෂධ රැසක් ගෙන්වීමේදී සිදු වූ ටෙන්ඩර් හා මිලදී ගැනීම් සම්බන්ධයෙන් චෝදනා එල්ල විය. රටේ ඩොලර් හිඟයක් පවතිද්දීත් සෞඛ්‍ය අමාත්‍යංශය සෘජුව ගැනුම්කරුවන්ගෙන් ඖෂධ මිලදී නොගෙන ඖෂධ සංස්ථාව හරහා ඖෂධ මිලදී ගැනීමෙන් විශාල කොමිස් මුදලක් ගෙවීමට සිදු වී ඇත.
ඖෂධ නීතිගත සංස්ථාව, දේශීය ඖෂධ ප්‍රවර්ධනය නාමයෙන් විවිධ දූෂණ වංචා හා අක්‍රමිකතා සිදුකර තිබේ. කෙහෙලිය රඹුක්වැල්ල අමාත්‍යවරයාට මින් පෙර තුන් වතාවක් පමණ පිළිගන්වන ලද ඖෂධ තොග යළිත් වතාවක් උත්සවකාරයෙන් අමාත්‍යවරයාට පිළිගැන්වීම.
මෙම කරුණු සම්බන්ධයෙන් විශේෂ කොමිසම මඟින් සොයා බලා ඒවාට නිසි පියවර ගන්නැයි වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය ඉල්ලා සිටියි. පසුගිය යහපාලන සමයේදී රාජ්‍ය ආයතනවල දූෂණ අක්‍රමිකතා සෙවීමට පත් කර තිබූ විශේෂ ජනාධිපති කොමිෂන් සභාව මඟින් හෙළිදරව් කරන ලද සෞඛ්‍ය අමාත්‍යංශයේ ඉහළ නිළධාරීන් 15 දෙනෙකු සිදු කරන ලද රුපියල් බිලියන 5 ඉක්මවන මුදල් අපහරණ ක්‍රියාව සම්බන්ධයෙන් ද නිසි පියවර ගන්න යැයි ලිපියේ සඳහන් කර ඇත.







