ඉඳුනිල් කහටපිටිය –
අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු අධිකරණ පද්ධතියේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ඉහළ නැංවීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් හඳුන්වා දීමට රජය විසින් ගෙන ඇති බව කියන තීන්දුවකට එරෙහිව ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජනාධිපතිවරයා වෙත ලිපියක් යවමින් සිය ලිඛිත විරෝධතාවය දක්වා තිබේ.
අභියාචනාධිකරණ සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ඉහළ නැංවීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් හඳුන්වා දීමට රජය සලකා බලමින් සිටින බවට මහජන අවකාශයේ පළ වී ඇති වාර්තා පිළිබඳව ශ්‍රී ලංකා නීතීඥ සංගමය (ශ්‍රී.ල.නී.ස.) දැඩි අවධානය යොමු කර සිටින බව එම ලිපියේ සඳහන් වේ.
1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාශයට පත් කළ අවස්ථාවේ සිට පිළිවෙළින් වසර 63 සහ 65 ලෙස පවතින අභියාචනාධිකරණ සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව, අත්තනෝමතික ලෙස වෙනස් නොකළ යුතු බවත්, එවැනි වෙනසක් අවශ්‍ය හෝ යෝග්‍ය නොවන බවත් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ මතය වී තිබේ. එසේ කිරීම, නීති පද්ධතියේ අඛණ්ඩතාව, නීතියේ ආධිපත්‍යය සහ අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් රජය දක්වන කැපවීම කෙරෙහි මහජන විශ්වාසය අහිමි වීමට හේතු වන බව පෙන්වා දෙන නීතිඥ සංගමය, මෙම අරමුණ සඳහාම පමණක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒම පිළිබඳව රජයේ අභිප්‍රායන් මහජනතාව විසින් ප්‍රශ්න කිරීමට ඉඩ ඇති බව ද පවසයි.
2020 ඔක්තෝබර් මස 29 වන දින සහතික කරන ලද 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින්, අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ සංඛ්‍යාව (අභියාචනාධිකරණයේ සභාපතිවරයාද ඇතුළුව) 12 සිට 20 දක්වාත්, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ සංඛ්‍යාව (අගවිනිසුරුවරයාද ඇතුළුව) 11 සිට 17 දක්වාත් වැඩි කර ඇත. එවැනි වැඩි කිරීමක් සිදු කර ඇති පසුබිමක, කාර්යමය වශයෙන් ද සලකන විට, විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස ඉහළ නැංවීමේ සැබෑ අවශ්‍යතාවයක් පැවතිය නොහැකි බව නීතිඥ සංගමය ජනාධිපතිවරයාට පෙන්වා දෙයි.
වසර ගණනාවක් තිස්සේ ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විශේෂිත කාර්යයන් සඳහා (ad hoc) සංශෝධනයන්ට භාජනය වී ඇති අතර, ඇතැම් අවස්ථාවලදී බලයේ සිටින රජයේ දේශපාලන අවශ්‍යතා සපුරාලීම සඳහාත්, බොහෝ විට නීතියේ ආධිපත්‍යය, අධිකරණයේ ස්වාධීනත්වය සහ අධිකරණයට විරුද්ධව ද එවැනි සංශෝධන සිදු වී ඇත.
මේ අවස්ථාවේදී මෙම අධිකරණවල දැනට සේවයේ යෙදී සිටින විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස ඉහළ නැංවීම යනු අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑම් කිරීමට දරන පැහැදිලි උත්සාහයක් ලෙස මහජනතාව විසින් සැලකීමට ඉඩ ඇති බවත්, දිගු කාලීන සැලසුමකින් තොරව එවැනි පියවරක් ඉදිරියට ගෙන යාම එම අධිකරණවල ගරු විනිසුරුවරුන්ගේ ගෞරවයට ද හානි කරනු ඇතැයි විශ්වාස කරන බවත් නීතිඥ සංගමය පවසයි. තවද, වර්තමාන රජය එවැනි පියවරක් ඉදිරියට ගෙන යන්නේ නම් එය, අනාගත රජයන්ට ද අධිකරණමය කාර්යයන් සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට දිගු කාලීන සැලසුමකින් තොරව සංශෝධන හඳුන්වා දීම පිළිබඳ භයානක පූර්වාදර්ශයක් වනු ඇති බව ද නීතිඥ සංගමය කියයි.
අධිකරණයේ ස්වාධීනත්වය සහ මහජනතාව ඒ කෙරෙහි තබා ඇති විශ්වාසය යනු නීතියේ ආධිපත්‍යයේ සහ ජන රජයේ ප්‍රජාතන්ත්‍රවාදී රාමුවේ අත්‍යවශ්‍ය මූලස්ථම්භ බව පෙන්වා දෙන නීතිඥ සංගමය අධිකරණය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ස්වාධීන බව පමණක් නොව, පූර්ණ වශයෙන් ස්වාධීන, අපක්ෂපාතී සහ ඉතාම සුළු වශයෙන් හෝ බලපෑම්, අනුග්‍රහයන්, හෝ නුසුදුසුකම් වලින් තොරව මහජනතාවට දැකගත හැකි වීම අතිශයින් වැදගත් වන ආකාරය අවධාරණය කරයි.
එබැවින්, නීතියේ ආධිපත්‍යය සහ අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම පිළිබඳව තම යුතුකම ඉටු කිරීමේදී ශ්‍රී ලංකා නීතිඥ සංගමය, අධිකරණයේ හෝ ජනතාවගේ අවශ්‍යතා සඳහා නොවන, එවැනි යෝජිත සංශෝධනයක් සම්බන්ධයෙන් තම දැඩි අවධානය යොමු කර සිටින බව ගෞරවාන්විතව ප්‍රකාශ කර සිටී.
මෙම තත්ත්වයන් යටතේ, අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු අධිකරණ පද්ධතියේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස ඉහළ නැංවීම සඳහා යෝජිත කිසිදු ව්‍යවස්ථාමය සංශෝධනයක් සමඟ ඉදිරියට නොයන ලෙස නීතීඥ සංගමය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටී.
ශ්‍රී ලංකාවේ නීතියේ ආධිපත්‍යය සහ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය පවත්වා ගැනීම සඳහා අත්‍යවශ්‍ය වන අධිකරණයේ ස්වාධීනත්වය, අඛණ්ඩතාවය, ගෞරවය සහ මහජන විශ්වාසය ආරක්ෂා කිරීමේ වැදගත්කම පිළිබඳව ජනාධිපතිවරයා නිසි අවධානය දක්වනු ඇතැයි විශ්වාස කරන බව ද ශ්‍රී ලංකා නීතිඥ සංගමය වැඩිදුරටත් සඳහන් කරයි.
එම නිවේදනය පහත දැක්වේ.









